"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, July 29, 2010

කොල ඇපල්, වැගන් පාක් සහ මහේල

කොල ඇපල්, මා ඉදුනු මී අඹයකට පසු වැඩියෙන්ම රස විඳින පලතුරයි.එහෙත් පහසුවෙන් ගන්නා ප්‍රනීතම පලතුර ලෙස කොල ඇපල් මගේ තීරුවේ ඉහලින්ම සිටී.මා ඇපල් ගෙඩියට හුරු වූයේ Apple a day keep the doctor away නිසා නොවේ.කොපමන ඇපල් කෑවද මා මසකට වරක් වත් බඩේ අමාරුව හේතු කොටගෙන දොස්තර හමු වෙමි.

ඇපල් ගෙඩියට මා ෂැන්ඩි ලෙස භාවිත කරන්නේ වැගන් පාක් ය.වැගන් පාක් වනාහී මා අතරැඳි මුවට දිවෙන ඇපලයේ සැර බාල කරන ඔසුවකි.කනට ඔබාගෙන සිටින ඇබ දෙක වැගන් පාක් සංගීතය එහි පුරවාලයි.එය කෙතරම් මිහිරිදැයි විඳින්නට නම් ඔබ අත කොල ඇපල් ගෙඩියක්ද, ඔබ ඉදිරිපිට මහේල ක්‍රීඩා කරමින් සිටිය යුතුය.වැගන් පාක් මා ජීවත් වන නො එසේනම් මා ආඩම්බරයෙන් ජීවත් වන මොරටු පුතෙකුගේ සහ ඔහු මිතුරු කැලකගේ වැඩකි.පාසල් ජීවිතය අවසන් කාලයේ මා අතිශය රොක් පිස්සෙකු විය.නොනැවතී උඩ බිම පැද්දුනු හිස නිසොල්මන් කලේ වැගන් පාක් හී බුද්ධි ඩිමෙල්ය.ඔහුට මෙන්ම ඔවුනට නීති නැත.නිශ්චිත ප්‍රක්ශක පිරිසක් නැත.හොඳ පැණි බේරෙන වචන නැත.ඇත්තේ හැකියාව සහ විඳීම් පමනකි.රොක් ඇන්ඩ් රෝල්/බ්ලූස් මා මොලය තුල පිරී ඇත.සින්දුවක් මවුත් ඕගනයෙන් සහ රිදම් එකට වදින බොක්ස් ගිටාරයෙන් කෙලින්නට බුද්ධිට හැක.තවත් ගිටාර, ඕගන් ඩ්‍රම්ස් සහ බේස් එක්වූ විට අපිත් දැන් ඇත්ත වෙනුවෙන් ඇත්ත හොයාගෙන ඇත්තට ජීවත් වනවා යන හැඟීම ඔබටද ඉපදිය හැක.
Now I walking down the street
යාලුවෙක්වත් නැද්ද මා ලඟ...
ඔන්න ඔහොම යනකොට
ලොල්ලෙක් දැම්මා සීන් එක
මං දුන්නා හක්කට...  
කැරකිලා බිමට වැටෙන්න
 ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. දෙමල පුලුවන් වූ කලෙක උන් දෙමලෙන්ද සින්දු කියනු ඇත.උන් රැඩිකල් නැත.නමුත් සිම්පල්ය.මා ඒ වචන ඒ විඳීම වලට ආසා වූයේ මා චාල්ස් බුකොව්ස්කි ගේ තැපල් කන්තෝරුව ප්‍රිය කරන්නෙක් නිසාවෙනි."වැගන් පාක්" කරත්ත නැවතුමේ නොනැවතී ඉදිරියටම යනු ඇත.බලන්න වැගන් පාක්!

අපි ඉන්නේ ලංකාවේ මොරටුව අපි ජයගත් නගරේ!
ජීවිතේ සුන්දරයි කියන්නේ ටීවී එකේ
අපේ මේ ජීවිතේ නෑ කිසිම හීනයක් දැක්කේ
සිහිනයෙනුත් අපි දුටුවේ සූස්තියක ආතල් එකනේ!
 මට වැගන් පාක් විඳිය හැක.මොරටුවේ අපට ඇති ආඩම්බරය, දේශපාලනය, ඇල්කොහොල් ගංජා සබ්ජෙක්ට් නොයෙකුත් දෙයින් වැගන් පාක් අප වින්දනය කරයි.නොකියා යැයි බ්‍රෑන්ඩ් කර ඇති ඇබ දෙකෙන් මාගේ කනට ඇතුල් වන වැගන් පාක්, මුවෙහි රැඳි කොල ඇපලය ඩයලූට් කරයි.මට ඉතිරිව ඇත්තේ බයිට් එකට අත පෙවීම පමනි.රිමෝටයේ අංක නමය එබූ විගස "සං" ගා පත්තු වූයේ වූයේ මාගේ බයිට් එකයි.මහේල ජයවර්ධන.මාද තවත් එක් ජයවර්ධනයෙකූ වීම පිළිබඳ ආඩම්බරයක් මාහට ඇති කරවයි.මහේල මෙන්ම මාද නාලන්දාව පාසල කොට ගත්හ.මහේල මෙන්ම මාගේද බාල සහෝදරයා කුඩා කලම මිය ගියේය.නමුත් මහේල මෙන් මට ක්‍රිකට කෙලිය නොහැක.කොටින්ම බ්‍රැඩ්මන් ටවත් මහේල මෙන් ක්‍රිකට් කෙලිය නොහැක.වාර්තා වලින් මට තඹයක වැඩක් නැත.ඔහු බිංදුවට ගියද දැවී යන්නේ ක්ලාස් එක තබාගෙනය.ෆොටෝ ගැහිල්ලට කැසිල්ල ඇත්තෙකු ලෙස මා දන්නා කරුණක් වෙයි.ඒ මාහට ෆොටෝ එකක් ගැසීමට හොඳම හැඩය ලබා දෙන්නේ මහේල ජයවර්ධන හෝ ජිම් කේරි බවයි.

මහේල ඉහල ඉමවල් කරා යනවාට මා කැමති නැත.ඒ මගේ බයිට් එක පල් වෙනවාට මා අකමැති හෙයිනි.ඔහුගේ ලකුනු පනහක් මගේ Don, මොරටුව, Cohomothe(Flat), කොහෙද යන්නේ මල්ලේ පොල් කියන වැගන් පාක් සින්දු හතරකට සහ කොල ඇපල් දෙකකට හොඳටම සෑහේ.

Friday, July 23, 2010

කුජීතයිද මන්දා?

කාලෙකින් පස්සේ ලියලා දාන්න හිතපු පෝස්ට් එකත් පහු කරලා දාලා ලියන්න හිතුනා අපි ගැන.මේක පහු කලොත් මේ තරම් ආවේගශීලීව නොලියවෙයි කියලා හිතිච්ච නිසා මේක දැන් ලියන්න තීරණය කලා.දැනටමත් පහු වෙලාද මන්දා.

ඒත් පලවෙනි දේ සමාජ ජාල ඇතුලේ ජීවිතය සාමන්‍ය ජීවිතයත් එක්ක පටලවගන්න එපා.කොටින්ම ෆේස් බුක්! ලංකාවේ මිනිස්සු පලු පැලෙන්න බැන බැන ඒත් හැමදාම ලොග් වෙන සමාජ ජාල අඩවියක්! අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ එකතු කරගන්න යාලුවෝ වෙන ක්‍රම ගොඩක් තියෙනව. ඒවා හොඳ පැත්තට විතරක් තියාගන්න.අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ උනේ බ්ලොග් හින්දා වෙන්න පුලුවන්, අපේ දේශපාලනික දැක්ම අනුව වෙන්නත් පුලුවන්, අපි ජීවත් වෙන පැති, අපි එක තැනක ඉගෙන ගත්තු නිසා, අපි ලංකාවේ නිසා, අපිට කවි ලියන්න පුලුවන් නිසා, අපිට ඉගෙන ගන්න පුලුවන් නිසා, අපිට පින්තූර ගන්න පුලුවන් නිසා, අපි සෙට් එක රොක් මියුසික් අහන නිසා, අපි රගර් ගහන නිසා, අපි ක්‍රිකට් ගහන නිසා, අපි ෆිල්ම් බලන නිසා මේ ඕනම හේතුවක් වෙන්න පුලුවන්.ඒත් අපි හතුරෝ විදිහට වෙන් වෙන්න මේ දේවල් කවදාවත් පාවිච්චි කරන්නෑපා.මම මහින්ද රාජපක්ෂගේය..., මම රනිල් වික්‍රමසිංහගේය, මම නාලන්දේය උඹ රෝයල්ය, උඹ දෙමලෙක් උනාට මම හොඳ සිංහල යි කියන හේතු හිතේ තියෙනවනං ඒවා මරලා දාන්න.මේක ලියන්න උනේ ඊයේ මගේ ස්ටේටස් එහෙක වෙච්ච බැන ගැනීමක් නිසා.මගේ ස්ටේටස් ඇතුලේ ඕන තරං මගේ යාලුවෝ මට බනිනවා.මමත් උන්ට බනිනවා.ඒවා එච්චරයි මූනට මුනගැහුනම හෝ ආපහු චැට් එහෙක සෙට් උනාම ඒ ඔක්කොම ඉවරයි කියලා අපි අපිම දන්නවා.අපි හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු! ඒ නිසා අපි වෙනුවෙන් අපි ඉන්න ඕන කියන සත්‍ය පිලිගන්න හැමතිස්සෙම.මම මගේ හොඳම යාලුවොන්ට හුත්තිගේ පුතා කියලා බැනලා තියෙනවා.ඒත් ඒ නිමේශයකින් ඒවා අමතකයි.මම සමුගැනීමකදි ඒ යාලුවගෙම අම්මට වඳිනකොට මගේ හිතින්ම ඒ අම්මගෙන් සමාව ඉල්ලනවා.ඒකයි මිනිස්සුන්ගේ හැටි! (මෙතනට කුණුහරුපයක් දැම්මේ ඒක නොදැම්මොත් මේ පෝස්ට් එක අසම්පූර්ණ නිසා.සාධාරණ හේතුවක් ඇතුව.)ආවේග කියන දේවල් ආ වේගයෙන්ම යනවා කියන එක මිනිස්සු දැනගන්න ඕන.

අනිත් කාරණේ යාලුවෝ ආශ්‍රය කරද්දි.පලවෙනි කාරණේ තමුන්ගේ ඇත්ත ජීවිතේ තමුන් එක්ක එකට ඉන්න යාලුවෝ විශ්වාස කරන්න.සයිබරයේ මිතුරුකමුත් ඒ තත්වෙට පෙරලගන්න.ඒ මිතුරන්ගේ තත්වෙට ගන්න ඕන සයිබර් මිතුරුකම් තෝරාගන්න.මිතුරුකම ගොඩනැගිච්ච විදිහ බල්ලට දාන්න.මිතුරුකම විතරක් තද කරගන්න.උඩට එන්න ගේමක් දෙන හැම යාලුවෙක්ටම දිරියක් දෙන්න.තමුන් ඒ යාලුවට වඩා පහලින් හිටියත් ඒ උදව්ව ඒ විදිහටම දෙන්න.තමුන්ගේ යාලුවෝ දියුණු වෙනකොට ඒක ගැන මූනට නොකිව්වත් සන්තෝශ වෙන්න.නින්දට කලින් ඒ දේවල් ගැනත් හිතන්න.මටත් ඉන්නවා අනන්ත අප්‍රමාණ හැකියාවන් තියෙන යාලුවෝ.නැෂනල් ටීම් එකට ගහන්න ඉන්න යාලුවෝ, ප්‍රෝග්‍රැමින් හොඳටම පුලුවන් යාලුවෝ, උගන්නන්න පුලුවන් යාලුවෝ, ඉගෙනගන්න පුලුවන් යාලුවෝ, කවි ලියන්න පුලුවන් යාලුවෝ, ලස්සන ෆොටෝ ගන්න පුලුවන් යාලුවෝ මටත් අනන්ත අප්‍රමාණව ඉන්නවා.මම ඇත්තටම ආසයි මගේ ෆොටෝග්‍රැෆි ලෝකේ වීරයා පිට එකෙක් නොවී අංජා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ මගේ ක්‍රිකට් ලෝකේ වීරයා පිට එකෙක් නොවී ගයියා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ අයි.ටී ලෝකේ වීරයා පිට එකෙක් නොවී පහනා වෙනවනං. මම ඇත්තටම ආසයි මගේ සාහිත්‍ය ලෝකේ වීරයා පිට එකෙක් නොවී සඳුනා වෙනවනං.හැමතිස්සෙම තමුන්ගේ ලඟ යාලුවෙක්ව තමුන්ගේ රෝල් මොඩ්ල් එක කරගන්න උත්සහ කරන්න.ඒක තමුන්ටත් ඉස්සරහට යන්න හොඳ උත්සහයක් වෙයි.ඉස්සරහට යන්න බැරි උනත් "ඒ මගේ යාලුවෙක්" කියලා ගොත ගහන්නේ නැතුව පිරිසිදු හිතකින් කියන්න පුලුවන් වෙයි.

ජීවිතේට ඔප්ෂන්ස් තියාගන්න.තමුන්ට එක දෙයක් හොඳටම බැරි උනත් ජීවිතේ ගෙනියන්න පුලුවන් විදිහට වෙනින් දෙයක් හරි හොයාගන්න.උදාහරණයක් විදිහට මම කොච්චර අයි.ටී ඉගෙන ගත්තත් මට අයි.ටී දිරවන්නේ නැත්තන් මම දැනගන්න ඕන මට දිරවන පැත්තකට හැරෙන්න.එහෙම හැරෙන එක ලේසි නෑ.ඒ නිසා ජීවිතේ මුල ඉඳන්ම ඔප්ෂන්ස් තියාගන්න.බැරි මරගාතෙන්වත් මොනවා හරි පොඩි පොඩි දේවල් ලියන්න.කෑමක් හදන්න ඉගෙන ගන්න.මහන්න ඉගෙන ගන්න.ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න.ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න.අඩු තරමින් සින්දුවක් කියන්න, සෙල්ලමක් කරන්න, මැත්ස් පොතක් අරගෙන පොඩි එකෙක්ට අමාරු දේවල් කියාදෙන්න, කැඩිච්ච දෙයක් හදාගන්න පුරුදු වෙන්න.ඒක කවදාහරි තමුන් ජීවිතෙන් දිනවන්න මගපෙන්නයි.

ඒ වගේම කවදාවත්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා.මම දැකලා තියෙනවා සමහරු ෆේස්බුක් එකේ Political View එකට දාන්නේ I Hate Politics කියලා.ඒක හරිම ගොන් කතාවක්.ලංකාවේ දේශපාලනය කොච්චර මඩ ගොහොරුවක් උනත්, ඒක නැතුව සතෙකුටවත් ජීවත් වෙන්න බෑ.කොටින්ම ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි නිදහසේ රමණයේ යෙදෙන්නත් දේශපාලනය බලපානවා.

ආදරය ගැනත් එක වැදගත් පේලියක් කියන්න ඕන. සියයට සීයක විශ්වාසයක් තියෙනවනං විතරක් ආදරය කරන්න.ඒක සියේට අනූ නමයක් වෙච්ච දවසට අතෑරලා දාන්න.මාව විශ්වාස කරන්න ආදරය කරන කෙනා ගැන විශ්වාසය සියේට අනූනමයක් වෙච්ච දවසටත් ඔබ ආදරය කරමින් සිටියොත් එදාට ඔබට හිත නිදහසෙන් නිදාගන්න බෑ!

අනිත් දේ සල්ලි! හැමතිස්සෙම අතට හම්බුවෙන රුපියලක පවා වටිනාකමක් තියන්න.මහ බැංකුව ඇතුලෙන් සල්ලි කොල එලියට එන්නේ මහ බැංකුවෙන් එලියේ මිනිස්සු තොගයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා.සමහරු මැරෙන්නේ සල්ලි නැති නිසා.නොහොත් දුප්පත් නිසා.ඒ වගේම තවත් සමහරු මැරෙන්නේ සල්ලි වැඩි නිසා.ඇඟ විකුනලා ගත්තත් සල්ලි.බිම තිබිලා ඇහින්දත් සල්ලි.ජීවිතය වගේම සල්ලිත් මැදුම් පිළිවෙතේම ගෙනියන්න.

"අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු" කියලා ආඩම්බර වෙන්න.සතුටු වෙන්න.ඒත් "පර ඉන්දියන්කාරයෝ" කියලා ගහගන්න යන්න එපා.අපි ඇමරිකාවට ජැමෙයිකාවට බනින්නේ නෑ.ඒ උන්ගේ මළල ක්‍රීඩකයෝ තරන් අපේ උන් දක්ෂ නැති නිසා.අපි ජපානෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් අපේ උන්ට නව නිර්මාණ බැරි නිසා.අපි බ්‍රසීලෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් හොඳට අපිට ෆුට්බෝල් බැරි නිසා.ඒත් අපි ඕස්ට්‍රේලියාවට බනිනවා.ඒ උන්ට ගේමක් දෙන්න තරන් හොඳ, ඒත් පරාද වෙයි කියලා බය ක්‍රිකට් ටීම් එකක් අපිට ඉන්න නිසා.අපි ෂේන් වෝන්ගේ දැකපු නැති අම්මට බනිනවා.ඒ අපේ මුරලිට ගේමට ඉන්නේ එයා නිසා.ඒකයි ඇත්ත! හුඟ දෙනෙක්ගේ හිත් ඇතුලේ කොන් වල පල් වෙවී තියෙන ඇත්ත.ඔබට උයන්න බැරිනං හැමදාම කඩෙන් ගෙනත් කන්න එපා.එක සතියක් එක දිගට නූඩ්ල්ස් තම්බගෙන කන්න.සතියකින් ඔබට උයන්න ඉගෙනගන්න හිතේවි!

අපි අපි හැමෝගෙම ජීවිතේ රහසින්වත් පවු කරලා ඇති.මමත් මගේ ජීවිතේ අනන්තවත් පව් කරලා තියෙනවා.මම විශ්වාස කරන්නේ නෑ දහස් වාරයක් කැළණි විහාරෙට ගියා කියලා ඒ පව් මැකේවි කියලා.ඒ වගේම මම විශ්වාස කරනවා මැරෙන්න මොහොතකට කලින් හරි ඕනම මිනිහෙක්ට තමුන්ගේ ජීවිතේ තමුන් කරපු හොඳ නොහොඳ මතක් වෙනවා.මම මැරෙන්න මොහොතකට කලින් මගේ ඇස් ඉස්සරහා මැවෙන මම කරපු දරුණුම පව් පහ මම තෝරලා ඉවරයි.මට ඒක ගැන බයකුත් නැතුවම නෙවෙයි.ඒත් මගේ ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට ඊට වඩා ලොකු පව් නොකර ඉන්නත් පුලුවන් තරමක් පිං කරන්නත්.තමුන් පිනක් කරනකොට ඒක තමුන්ගේ හිතට සතුටු හිතෙන පිනක් කරගන්න.ථූපාරාමෙට ආලෝක පූජා කරන්න රුපියල් පන්සීයක් දෙනවට වඩා මම ඇත්තට සතුටු වෙනවා ගොළුමඩම හන්දියේ සපත්තු මහන අන්කල් ට බත් එකක් අරන් දෙන්න පුලුවන්නන්.ඔබත් ආගම ප්‍රශ්නයක් කරගන්න එපා! කොච්චිකඩේ පල්ලියෙදි තමන්ගේ උසට ඉටි පන්දමක් පත්තු කරනවට වඩා තමුන් දන්න දෙයක් කාටහරි උගන්නන්න.අපි මැරුනම අලුත් ජීවිතයක් ලැබෙනවනං ඒ ලැබෙන තෙක් අපි කතාකරන්නේ සිංහලෙන් නොවෙන්න පුලුවන්.මොකද සුද්දොත් මැරෙන නිසා.වගේම මැරුනම කොහෙත් එක නිසා.අපි මැරුනම අපිට තියෙන්නේ සිතුවිල්ලක් විතරක් වෙන්න පුලුවන්.ඒ නිසා ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා.විඳව විඳව ජීවත් නොවී. . . විඳ විඳ ජීවත් වෙන්න.ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නං ඔබ මත් පැන් පානය හෝ ඌරු මස් අනුභවය ගැන දෙගිඩියාවකින් ඉන්නවානං හිතන්න කුකුලත් සතෙක් නොවෙයිද කියලා.ඉස්ලාම් ජාතිකයෙක් විදිහට අන්තිම මොහොතේ කලීමාව නිවැරදිව කියන්න පුලුවන් වෙන්න කියලා පතන්න.ඒක ඔබේ හිතට දෙන්න පුලුවන් උපරිම ශාන්තිය ලඟා කර දේවි.ඔබ මස් ජාති වලට බැන බැන මාලු ගිලිනවානං හිතන්න මාලුත් ජීවියෝ නෙවෙයිද කියලා.පවු පිං ආගම් අනුව බලපාන්නේ නෑ.ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා.ඔබ හිතට එකඟව සතුටෙන් කරපු දේකින් තවකෙක් සතුටු වෙනවානං ඒක පිනක්.

මගේ අතින් වෙනමම ආකාරයක ලිපියක් ලියවිච්ච එක ගැන මට සතුටුයි.ඒ සිතිවිල්ල හරි එකක්ද නැද්ද කියන එක මට දැනගන්න උවමනාවක් නෑ.මොකද හරි උනත් නැතත් මේ මගේ හිතට එකඟ විදිහ.ඒක මැරෙනකම්ම එහෙමයි.මේකට කමෙන්ට් කරත් නොකරත් මට එකයි.මම දවස තිස්සේ ඇවිත් කමෙන්ට් ගනන් කර කර විඳවන්නේ නැති නිසා.මට ඕගොල්ලෝ මේක කියෙව්වොත් ඇති.මොකද වැරදි දේවල් අනන්ත තිබුනත් එක හොඳ දෙයක් හරි කාගේ හරි ජීවිතේකට ආවොත් ඒක මට පිනක් නිසා! එතනත් ආත්මාර්ථකාමීත්වය. ජය!

Tuesday, July 6, 2010

දෙබස

........
ඈ: කොන්ඩේ කැටි ගැහිලා.නාගන්න තිබ්බානං!

මා: ඔය දවසට නාන්න එපා!

ඈ: ආ. . .!

මා: ආ. . . තමයි.ඇඟ සීතල උනාම හොඳ නෑ.යන එක නවතියි.

ඈ: පණ්ඩිතයා

මා: පණ්ඩිතකමක් නෙමෙයි.දවස් තුනයිනේ ඉවසලා ඉන්න.

ඈ: දන්න දේවල්.. .

මා: එහෙම තමයි!

ඈ: කොහොමද ඔච්චර දන්නේ ?

මා: පොත් කියවලා (ඉඟි මරමින්)

ඈ: පොත්? කීයක්ද?? (දෙතොලග සිනහවක්)

මා: ගොඩක්! පුස්තකාලයක්ම

ඈ: හ්ම්ම්ම්... දැන් කියවන්නේ මොකද්ද?

මා: මගේම පොතක්. ..කියවන්නෙත් මම ම විතරයි
මගේම විතරයි. පුස්තකාල පොත් වගේ නෙමෙයි.

ඈ: පොතත් එහෙමයි.
වෙන කට්ටියට කියවන්න බෑ.

මා: අහලා නැද්ද ශ්ලෝකේ ??

ඈ: අහ්. . . මොන?

මා: ස්ත්‍රී රත්නං
පුස්තක රත්නං
පරහස්ත ගතං
ගතං ගතං

ඈ: තේරුම?

මා: ගැහැනුන් මෙන්ම පොත් අන් අය අතට පත් උනොත් ආපහු ලැබීමක් නෑ!

Thursday, July 1, 2010

කපුටොත් ආදරෙයි

පැය කාලක් විතර තිස්සේ මිලාගිරියේ ඉඳන් අද්ද අද්ද ආපු කකුලත් එක්කම බස් හෝල්ට් එකට රිංගුවේ වැල්ලවත්තේ ෆ්ලැට්ස් ඉස්සරහා ගස් වල කපුටොන්ට බඩේ අමාරුව හින්දා.

අහ්. . වැඩේට හරියනම මිනිහා!

බස් හෝල්ට් එක යට ඉඳන්ම මගේ අලුත ගත්තු සැන්ඩ්ල්ස් කුට්ටමේ වම් පතුල දික්කරේ එතනට ගියානං ඔලුවට බෙටි පූජාව වැටේවි කියලා හිතපු නිසා.මැද්දෙන් මැද්දෙන් කහට පිරිච්ච දත් ටික එලියට දාලා අවංක මුහුනකින් හිනා වුනේ ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් එකේ ෆ්ලේවියස් සහ මැරලස් ට සපත්තු මහන්නා දීපු උත්තරේ මගේ ඔලුවට ඔබ්බන ගමන්.

ෆ්ලේවියස්: මොකද්ද තොගේ රස්සාව ගොනෝ?
මොකද්ද උඹ කරන රස්සාව නිකමෝ?

සපත්තු මහන්නා: අනේ මං එක්ක කේන්ති ගන්නෙපා මහත්තයෝ.
හැබැයි මහත්තයා හරි සවුත්තු උනොත් මට හදන්න පුලුවන්.

මැරලස්: මාව හදන්න ජඩයෝ.තෝ මොකාටද එන්ඩ හදන්නේ?

සපත්තු මහන්නා: මහත්තයාගේ සපත්තු සවුත්තු උනොත් මට ඒවා මහලා දුන්නැහැකි.


මමත් කවදාහරි ඩිග්‍රියක් ගන්න ඉන්න එකෙක්! ෂික්! ඔය හිතුවිල්ල හිතට ඇවිත් පපු කැනැත්තටම ගහන්න මට ඕන උනේ ඒ අහින්සක මනුස්සයගේ හිනාවයි, මට මගේ වම් පතුල ගලවලා දික්කරන්න ගිය වෙලාවයි විතරයි!
ටික වෙලාවකින් ගාලු පාරේ ජනාකීර්ණම නගරයක් මැද්දේ හිත හෙල්ලුම් කාලා තිබ්බ නිහැඬියාව බින්දේ මනුස්සයාමයි.

මහත්තයා පන්ති යන ගමන්ද? හදිස්සිද?

අපෝ නෑ අයියේ. . . මේ වැඩ ඔක්කෝම ඉවර කරගෙන ගෙදර යන ගමන්. තකහනියක් මේ හෝල්ට් එක පයින් එන්න උනේ මේක හින්දා. දැන් එව්වැයේ කිසිම කොලිටියක් නෑ.

මොකේ කියලවත් කොලිටියක් තියෙනවද මහත්තයෝ. හැබැයි අපිට තමයි වාසි. දැන් මිනිස්සු අලුත්වා ගන්නෑ. පරන එකම හදෝනවා.

කකුල දෙදුරුම් කාගෙන ෆෝන් එක රිං උනේ, මගේ ගෑනිගෙන් වෙන්නැතියි කියලා හිතලා අතට අරගෙන බලනකොට මගේ හිතට හිනහ ගියේ මට කෝල් එක එන්නේ "ආදරේ" කියන කන්ටෑක්ට් එකෙන් නිසා. ලලිත් අයියා පතුල මහනකං මම ආන්සර් කලේ එයාට ලෙක්චර් ඉවර ඇති කියල හිතිච්ච නිසා.විනාඩි දෙකෙන් ඕන කරන ඔව් නෑ බෑ උත්තර ටික කියලා ෆෝන් එක තිබ්බේ ලලිත් අයියා සපත්තුව මහලා ඉවර වෙන්න ලං වෙලා නිසා.

මං ලලිත්.

කෝල් එකට කලින් මම නම අහපු වෙලේ මනුස්සයා මට කිව්වේ එහෙමයි.මම ඔක්කොම ඉවර කරලා බලද්දි මනුස්සයා චැරියට් එකෙන් ගත්තු සමෝසා එකක් කනවා.

කපුටොන්ගෙන් කරදරයක් නැද්ද අයියේ. .

ඇයි මහත්තයෝ ඒ ?? පුදුමෙන් වගේ මං දිහා බැලුවේ තොල උඩ නැවතිච්ච සමෝසා කෑල්ලක් දිවෙන් ඇතුලට වට්ට ගන්න ගමන්.

නෑ ඉතින් කුඩයක්වත් ඉහලගෙන නැති නිසා.මෙතන වටේම කාක් බෙටි නේ.අනික කනකොට වත් ලඟට එන්නේ නැද්ද?

මුං දන්නවා මහත්තයෝ මාත් නැති බැරි එකා කියලා.විස්සක් ඇති. . සල්ලිත් ගන්න ගමන්
අනික මුන් මට ආදරෙයිනේ. මේං උන්ගේ පංගුව. කියලා මට තවත් චැරියට් බෑග් එහෙක සමෝසාවක් පෙන්නුවේ එක හිතුවිල්ලක් දෙදුරුං කවන ගමන්!

කපුටොත් ආදරෙයි.

"චස්" ගාලා ආපු සද්දෙත් එක්ක, එහා පැත්තෙන් මොනර නිලට හුරු සාරියක් ඇඳන් ගිය ගෑනියෙක් වාතවෙවී ගියේ කපුටු වර්චසයක් නිසා කියල හිතිච්cඉ මට උඩ බැලුනම තේරුනේ මමත් දැන් පැය කාලක් විතර තිස්සේ ඉඳලා තියෙන්නේ ආවරනය නොවී විත්තිය.

කපුටොත් මරු ජාතිය!