"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Monday, December 27, 2010

අප්පා ඉප්ප සාප්පාටීංගලා?

මා හාන්සි පුටුවේ ඇලවී හිස ඒ මත කුෂන් කැබැල්ලට බර කලෙමි. මහත් සිසිලක් ගත මෙන්ම සිත පුරාද උඩුදුවමින් ඇත. එකල මගේ දෙමව්පියන්ද පැවසූ ලෙසක දරුවන්ගේ විවාහය දෙමව්පියනට කොතරම් අස්වැසිල්ලක්දැයි දැණුනි. මාගේ විවාහයෙන් පසු මාගේ දෙමව්පියන් කෙරෙන් දුටු ඒ සිහිලස මගෙන්ද විහිදෙනු මට දැණිනි. එහෙත් සිතෙහි යම් කුහුලක් දැනෙයි. ඒ කුහුලක්ද? මා සිස්ටම් එක සුණු විසුණු කරන්නට අණුබල දුනිද? මිතුරන් යමක් සිත්හී සඟවා මා සමග සාමීචියේ යෙදෙන්නේද? පියඹගේ මුහුණෙන් යම් උත්තේජිත තිතක් ඉවත්ව ඇති බවක් මා ඇය දෙස බලන සෑම මොහොතකම සිත කියන්නේ ඇයි? මගේ ලේලිය අඩු පාඩුද? නැත. ඇයට දරුවන් වැදිය නොහැකි බවක් වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්ද? නැත. තිබූ කුහුලද සඟවමින් ඇය ලේලියක ලෙස මා ඍණෙන් ධනට ඇද ඇත.

ඒ සොඳුරු ආදරය ජාතියකින් යට නොවී මා පුතුට ලැබෙන අපූරුව මා හට සිහියට නංවන්නේ මා ජීවිතයේ වසත් කාලය නොවෙත්ද? රැකියාවට පිටවන මාඅ පුතුගේ අතක් වට කොට ඇගේ අතින් බදා උරිස්සට බරව තොඳොල් වන්නේ තවත් මොහොතක හෝ ලබන උණුසුම ඇයට මහෝඝයක් බැවින් නොවෙත්ද? මොණර නිලැති සාරියද, එය වට කල රත්‍රන් රේන්ද ගෙත්තමද ඇයගේ දිස්නයට වැඩිමනත් යමක් එක් කලේය. පතිනයක් බවට ආඩම්බරයෙන් ඇයගේ පුළුල් නළල් තලය මත වැජඹෙන රතු තිලකය ඒ ගර්වය මෙන්ම කෙතරම් ප්‍රියයක් සිතට නගනවාද? තබන තබන පියවරක් පාසා සළඹ නගන රාවය ඇය තරුණ ලැසි ගමනට කෙතරම් රිද්මයක් සපයනවාද? ඇගේ වැල ගැහෙන දෙකොපුල්, ඉරියව් සහ සුහදකම් මගින් මතු කරවන ලාලිත්‍ය මින් තිස් සතලිස් වසරකට පෙර මා පියඹගෙන් මා දුටු ඒ සොඳුරු ලාලිත්‍යම නොවේද? 

දිනෙක උළුවස්සෙන් මිදුල බලා සිටින මට ඉස්තෝප්පුවේ සොඳුරු රූ රටා දකිනු සිත් විය. මා ඒ ක්‍රමයට අනුගත වෙමින් පැවතීම පිලිබඳ මා හද සියුම් සතුටක් මිශ්‍ර වූ චකිතයක්ද ඇති විය. මීලඟ තෛපොංගල් දිනට පුතු අත එම යෝජනාව එක්කර බැලිය යුතුය. මා හට අවැසි දේ කියන්නට තවමත් සිතේ චකිතයක් ඇත. ඇගේ ඇඟිලි තුඩින් පනින පාට කල හාල් පිටි වලින් නැගෙන හැඩ රටා අප නෙතට සොඳුරු දසුනක් මෙන්ම ඈ සිතටද කෙතරම් සිහිලක් උපදවයිද? මදහසක් නගා ඇය මා වෙත පාන ඇඟිලි පුච්චන උළුඳු වඩේ මාගේ රස නහර පිනවන බව මා පෙර සතියේ ලද අත්දැකීමෙන්ම දනිමි. අද උදෑසන ඈ පිළිගැන්වූ පිඟාන මා පිළිගත්තේ එදාට වඩා ගර්වයෙනි. ඈ මා පුතුගේ බිරිඳයි. මාගේ දියණියක් තරමටම කුළුපග සොඳුරු ලේලියයි. දියණියයි.

ඈ මා පුතු සමග සයනේ සුරතල් වී ලොවට තිළිණ කරන අග්‍රඵලය, මුවින් නගන කිරිකැටි සිනහවක මා දෙමල කම සොයන්නේද? ඒ බිලිඳු කැත කුණු කිසිඳු පැකිලීමකින් තොරව මේ සීයා අත නොගාන්නේද? උප්පැණ්නයේ අග නම මගෙන් පුතුටද, පුතුගෙන් මුණුබුරුටද උරුම වීම මා හට කෙතරම් සතුටක් දනවන්නේද? මාගේ පියාද මේ සතුට විඳීමට සිටියානම් යෙහෙකැයි මට සිතිනි. පොඩ්ඩා විසින් මා හට සීයා කිව්වද, පෙරියප්පා කිව්වද එය මාහට සම සතුටක් කැඳවනු ඇත. මුල නම් සඳහා හුරුබුහුටි සිංහල නමකුත් දෙමල නම් පොඩියකුත් තිබීම ඉතා සුන්දර නොවන්නේද? කුමන නමක් යෙහෙක්දැයි සෙවීමට මා සිත උගහට විය.

  • මිත්‍ර රාජන් ජයවර්ධන
  • හිරූ නෙයොමාල් ජයවර්ධන
  • රචින්ත ශක්ති ජයවර්ධන
පෙරදින අමතකව ඇසුවා සේ "අප්පා ඉප්ප සාප්පාටීංගලා?" යැයි විමසන තෙක් මා ගත හාන්සි පුටුවේම තබා සිටියේය. "තාත්තා දැන් කමුද?" යැයි මෙවර පැණය නැගුනු සොඳුරු සිංහල ඌරුවට මද සිනහවක්ද කට කොනට නගාගෙන මා නැගිට්ටෙමි. ප්‍රියඹද පිටුපසින් විත් මා හා කෑම කාමරය දිහාවට යාමට එක්වූවාය. අතුරුදහන් වූ උත්තේජිත තිත ඇගේ මුහුණේ යලිඳු නැගී තිබුණි.

Friday, December 17, 2010

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]

මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ඇති මැටි බඳුනෙන් සිවිලිම මත රටා මවා ඇත.
ජලය ප්‍රවාහයක් මෙන් නොව, සුමට පෘෂ්ඨයක් දිගේ විත් සිහින් හඬක් නංවමින් වැඩිමනත් ජලයට එක්වේ. සැහැල්ලු රිද්මයක් ලබාගනු වස් මා ෂවරය තුල එළි බසිනු තැතනූ ජල බිඳු නිදහස් කලෙමි. හුස්ම ඉහල පහල වැටෙන වාරයක් පාසා ඉන් ශරීරයට ලබා දෙන උත්තේජනය පවා මට දැනෙයි. මෙතුල එතරම් නිස්කලංකය. දැන් මා පිට විය යුතුය. මා මන්දිරයෙන් එළියට බැසීමි.

දොර හැර නිවසින් එළියට බට මා දෙවරක් නොහැරී යලිඳු කාමරයට දිව ගියෙමි. නැවත මා පැමිණියේ කැමරාව සමගිනි. එසේ සිදු වූයේ මිදුලේ වූ තුරුපත් මත පිණි නිසාවෙනි. තුරුපතක් මත පිණිබිඳක් එවන් හැඩයක් නගනු මා අතිශයින් වින්දෙමි. පිණි බිඳට එබී බැලූ මා එතුලින් දුටු ඡායාරූපය සටහන් කරගැනීමට මාගේ කැමරාව තරම් නොවීය.
කලකට පසු එලිමහනේ ඇඟ සෝදන්නට සිත් විය. ලොකු බාල්දියක වතුර පුරවා, එයින් කුඩා බාල්දියකින් වතුර ඇද ඇඟ සේදුවෙමි. පලමු දිය පහර දෙවුරිස් මත්තේ සිට බිමට වැටීම සිතට ලෝබය ඉපදවීය. එම ස්පර්ෂය මා ගැහැණියගේ ළය මත හිස හොවා ඇගේ දෑතෙන් ලත් රැකවරණයේ සහ උණුසුමේ පහසට පමණක් දෙවනි විය. ජලය අපතේ යමින් ඇත. එහෙත් එය නැවත නැවතත් විඳීමට යමක් ඉතිරි කලේය.
සරමක් හැඳ මිදුලට බැසීමි. වයස්ගත කොට්ටෝරුවෙකු ගසක් සමග පොරබදනවා විය යුතුය. මන්දයත් ක්ෂණයක් තුල තරුණ කොට්ටෝරු හොටෙන් ඇතිවන ශබ්දය සහ මා දැන් අත්විඳින ශබ්දය අතර වෙනසක් දැණුනි. නැත! හේ මිනිසෙකි. පවුල සහ තමන්ගේ පැවතීම හේතු කොට ගස් කපන්නෙකි. නිල් පැහැ අහස් කැන්වසය මත ඔහු මට චිත්‍රයක් විය. 
මා කුස්සියට වැදුනෙමි. මේසය මත දිගහැරුනු රතු දැල් මල්ලකි. මා ඒ තුල වූ දෑ මින් පෙරද රස විඳ ඇත. කොටුවේ එය විකුණන්නේ "මිනි මැන්ඩරින්" නමින්ය. ඒ කුඩා ප්‍රමාණයේ දොඩම් ගෙඩියකි.
මා විශාල ප්‍රමාණයේ දොඩම් නොකන මුත් මේවාට ආසාය. පලතුර සුද්ද කර බික් ගැලවීම මා ඉතා ආශාවෙන් කරන්නකි. කනට නෑසුනද මිනි මැන්ඩරින් ගෙඩියක බික දෙකක් ලෙහෙන විට "ශ්‍රීස්" ශබ්දයක් ඇති කරයි. එය මසිතින් ඇතිවන්නක්ද යන්න මා නොදනී. සමහරෙක් මිනි මැන්ඩරින් ගෙඩි වල බික් හී කවරය ඝනය. ඒවා ආහාරයට ගැනීම කුඩා කල බීම පැකට් සිහියට නංවයි. කෙසේවෙතත් මෙය විසින් මා හට විටමින් සී පෝෂණය සහ රස ලබා දීම හැරුණු කොට වැඩ රහිත පැයක කාලයක් ගෙවා දැමීමට උදව් කරයි.

මා ජීවත් වන්නේ රත්මලාන ගුවන් තොටුපල අසලය. එබැවින් මා කුඩා කල, ගුවන් යානා දකින අන් දරුවන් මෙන් මා කරේ තබාගෙන් ගුවන් යානා පෙන්වීම මාගේ දෙමාපියන්ට නොකල යුතු විය. අපමණ ගුවන් යානා ප්‍රමාණයක් දිනකට දකින බැවින් ඒවායේ ඡායාරූප ගැනීමක්ද මෙතෙක් සිදු නොවිනි. හදිසියේ උපන් සිතුවීල්ලකින් මා ඩිජියද උස්සාගෙන මිදුලට බැස අහස බලා සිටියෙමි. නිවස ඉදිරිපිටින් ඇදුනු කරන්ට් වයර් එක ඡායාරූපයට බාධාවක් නොකරාවි යැයි සිතුවද, එය එසේ නොවීය. සියයට සියයක්ම එය එසේ විය.
ආහාර වේල් ක්‍රමයට ආහාර ගන්නා සමාජයක, මටද එයට හැඩගැසෙන්නට සිදුව ඇත. නොයෙක්වර, සැඟව ඇති ගති පිටට එන නමුදු මමද වේල් ක්‍රමයට අනුගතව ඇත. ප්‍රධාන ව්‍යාංජන හතරක් තිබුනතර, මට ඉන් දෙකක් සෑහෙනුයේ ඒ මා ප්‍රියතම ඒවා බැවිනි.
ඒ උයන ලද රතු ළුනු සහ පොලොස් ය.

මා නැවතත් මිදුලේය. අම්මා වවන ලද මල් ගස් බොහෝමයක් වූ අතර ලියවැලක් මෙන් ඈරී තිබූ දම් පැහැ ඕකිඩ් රෑන කවදත් දෙවරක් මා හැරී බලවන්නට සමත්ය.

නැවතත් පටන්ගත් වැස්ස නිසාවෙන් මා කාමරයට වී සිටි අතර එහි වූ ජනේලයෙන් මට මැද මිදුල සහිත කොටස දිස් විය. එහෙත් එයට සියුම් බාධාවක් වූ අතර, ඒ අනෙකක් නොව මකුළු දැලකි. අපිරිසිදුකමද වාසනාවක් වන්නේ මෙවිටය.
සවස හයට පමණ වර්ෂාව නැවතුනු අතර , මා යලිඳු මිදුලට බැසීමි. අද සවස හය වෙනදා සවස හයට වඩා කලුවර විය. මේ හිරු බසින ඉම නොවෙත්දෝයි හැඟිනි. එහෙත් එය ස්ථීර කරන්නට හිරු නොසිටි අතර ඉතිරිව තිබුනු නිල් සහ කලු සුසංයෝගය මා සිත් ගත්තේය.
තවමත් වැස්ස අවසන් නැත. මා උළුවස්සට හේත්තු වී ඈත බලා සිටි අතර වැඩි ඈතක ඇස් නොගොස්ම තවත් දසුනක් ඇසට සමුවිය. ඒ එහා ගෙදර ඉදිරිපිට වූ ලයිට් කණුවයි. තවත් හතට විනාඩි දහයක් පමණ ඇති මුත් මේ ගෙන දුන් කලුවරම එම දර්ශනයට ආශිර්වාදයක් විය.
රාත්‍රී හතකුත් ගණනකට ඉටිපන්දම් අපගේ පිහිටට පැමිණියේ විදුලි විසන්ධිය නිසාවෙනි. දොර හැර තිබූ නිසාවෙන් වැස්සත් සමග පිටතින් පැමිණි සුලං කෝඩෙට ඉටිපන්දම් එළි නළියයි.
රාත්‍රී අටහමාරත් පසුව ඇත. රාත්‍රී ආහාරයද ගෙන හමාරය. තවමත් විදුලිය නොමැත. කැමරාවේ බැටරිද ඉතිරිව ඇත. මාගේ ආශාවද පෙරසේම දඟ කරයි. මේ Light Circus නම් වූ සොඳුරු රටාවන්ට වේලාවයි.
එතෙකින් නිමි!