ඌ මා හා හුරතල් වීමට උත්සහ දරයි. උගේ වලිගය මා සිරුරේ දැවටෙන බැවින්, ඌ මා වටා සුපුරුදු දෛනික පැදකුනුව අරඹා ඇති බව මා දනිම්. ඌ උගේ සුපුරුදු උදෑසන හුරතලය අරඹන්නේ එලෙසය. බීරිඳ අත තබා ගිය තේ කෝප්පය මා බිම තැබුවෙමි. රේඩියෝවේ වාදනය වූයේ "පෙනුණු සුව දසුන්" ගීතයයි. බලු සුරතලය අමතකව ගියේ ඒ මා ප්‍රියතමයක් බැවිනි. ඒ අමතක වීම ඌ කෙරෙහි වූ නොසන්සුන්තාවයට හේතුව විය. හෙන්‍රි කල්දේරා මා ප්‍රියතම ගායකයෙකු විය. ඒ ඔහුද දෘෂ්‍යාබාධයකින් පෙළුනු නිසාම නොව, ඔහුට පද රචනය සහ තනු නිර්මාණයේද හැකියාවන් වූ බැවිනි. මර්වින් පෙරේරාත්, කපුගේ මහත්තයත්, වික්ටර් මහත්තයත් අන්ධ වූවා නම් මා ඔවුනට තවත් ආශා වන්නට තිබිණි. මා නැවත ඌ සුරතල් කරන්නට පටන් ගතිමි. ඌ මට බෙල්ල අත ගෑමට දී ඔහේ බලාගත් අත් බලාගත්වනම සිටියේය. ලේලිය ලඟට පැමිණි බව දැණුනතර, ඈ ආපසු හැරී ගියේ තේ කෝප්පය තවමත් හිස්ව නැති බැවින් විය යුතුය.
විවාහ වූ සමය ඉතා සොඳුරු පරාසයක් විය. පෙම්වතුන්ව හැසිරෙන සමයේ අප, ආදරය තුලින් නැගී සිටි ලිංගිකත්වයේ අත්දැකීම් ලබා තිබුණද, වැසුනු කුටීරයක් එකිනෙකා නග්නව දඟ කර තිබුනේ නැත. එහෙයින් මධුසමය කාලය සහ එයින් පසුවත් මා ඇය රුව අඳුනා ගැනීමට අනවරථ උත්සහයක යෙදුනෙමි. "මෙය නුඹලාගේ මධුසමය" යැයි නාමිකව වෙන්වූ සතියේ මා රාත්‍රීන් තුනක් පමණ ඇයගේ මුහුනේ ඉරියව් ඇඟිලි තුඩින් පිරික්සමින් සිටියෙමි. එසේ ගෙවුනු වරක ඈ මා ඇඟිල්ලක් සපා කෑ බව සිහියට නැගුනේ, දකුණත මැදඟිල්ලට සිහින් රිදුමක්ද දනවමිනි. මා ඇගේ ළමැදේ උණුසුමට ඉතා ආශා විය. තවමත් එසේමය. මා මවගේ උකුල් තලය මත වෙසීමටද ඉතා ප්‍රිය කල බව මට මතකය. එසේම අත්තම්මාගේ බොකු ගැහුනු විටෙක පිම්බෙන උදර කුහරයද මා හට ඉතාමත් සුවදායක විය. මා දෑතින් කියවා ඇති පරිදි, ඉතා සුන්දර මගේ බිරිඳ මා මහත් ආයාසයකින් දිනූවක් නොවීය. ඈ කිසිදා නොදුටු ප්‍රාණියෙකු සොයා පැමිණතර, කිසිදා ලොව නොදකින ඒ ප්‍රාණියා තම ආදරවන්තයා ලෙස තෝරාගැනීමට බාධාවක් කර නොගත්තේ සතිපතා නිකුත්වුනු කවිකම් කෙරෙන් මා හඳුනා සිටි බැවිනි.
මා නිරතවෙමින් සිටියේ දුලබ රැකියාවකය. මා හට සතියකට කවි හතක් ලිවීමට තිබිණි. ඒවා එකම සඟරාවේ විවිධ නම් වලින් පලවී තිබිණි. මාසික වේතනය වූයේ රුපියල් දසදහසකි. තවමත් පුරුද්දට කවි ලියවෙන මුත් පුතු දෙදෙනා රැකියා වල නිරත වෙන බැවින්, වෙනදා මෙන් ඒ කවි බිරිඳ තැපැල් නොකරයි. මුල් කාලයේ කතෲ තුමා නිවසට පැමිණ මෑණියන්ගෙන් මා කවි ලියූ කඩදාසි ඉල්ලාගෙන ගිය අතර, සඟරාව ප්‍රසිද්ධ වූ පසු මවට ඒවා තැපැල් කරන්නට සිදු විය. ලොකු පුතු මා ලේලියගේ සිත දිනාගෙන තිබුනේද මාගේ කවියක් ඈ වෙත ඊ මේල් කිරීමෙනි. මාධ්‍ය කුමක් වුව ඈ ද කවියට මහත්වූ බන්ධූතාවයන් ඇත්තියක් විය. මා ඇයගේ සුහදත්වය මහත් ආහ්ලාදයකින් පිලිගතිමි. ඇයට තිබුනේ මා මවගේ කටහඬයි. ඒ බව ඈ දැනගත්දා සිට ඈ මා අමතන්නේ "ලොකු පුතා" ලෙසිනි. එය ඇසෙන ඇසෙනවර මට, මා මවගේ සුවැති උකුල සිහිපත් වෙයි. ඈ ආහාර පිසින විට ඇඳිවතට උඩින් හැඳි චීත්තයේ වූ මිහිරි ඉඳුල් සුවඳ නැවතත් දැනෙයි. මගේ කවි කියවා සතුටු වන ඇගේ ගතේ වූ වෙව්ලීම සිහිවෙයි.
මා මතට හුරු වූයේ සඟරාවේ කතෘතුමා නිසාවෙනි. මා පිළිබඳ මිතුරෙකුගෙන් දැනගත් ඔහු, නිවසට පැමිණ මා කටුව ඔහුගේ කාරයෙන් අවන්හලකට සේන්දු වූයෙමු. එහිදී මා පලමු වරට විස්කි බිවූ අතර සංවාදය අවසන් වන විට මා විස්කි වඩි හතරකින් පමණ මත්වී සිටීමි. තවමත් බ්ලැක් ලේබල් බෝතලයක් තුල සතියක කාලයක් සැරිසරණ මා ඒ තුල මහත් ආශ්වාදයක් ලබයි. මුල් පාවිච්චි කල පානයන් අතරින් රෙඩ් ලේබල් පානය නවතා තිබිණි. එහි වූ වහතු රහ "මා නොදකින" ශෘංඝාරාත්මක රතු පැහැයටද නිගාවක් විය. "රතු, රත, නොරත, විරිත, රතිය" උච්ඡාරණයට මා ඉතා ආශා කල බැවින් එම වචනය සහ එම ඌරුවේ වචන මට ශෘංඝාරාත්මක විය.
දැහැන බිඳුනේ තේ කෝප්පය පෙරලෙන හඬිනි. ලේලිය ලඟට දිව ආ අතර, ඈ "ෂීබා"ට බනිනු ඇසිනි. උගේ අන්ධ බව තවමත් ඌට හුරු නැතුවා විය හැක. මා ඌ උකුලට ගතිමි.