"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, June 10, 2011

අමරණීයත්වය නිශ්ප්‍රභා වීමට පෙර...

ආදම් සපමින් සිටි ඇපලය අතට ගෙන බැලීය. හේ ඊඩ්න් උයණේ පණුවන් කෙරෙහි උපන් කුසගිනි ශෝකයෙන් එය බිම දැමීය. එහෙත් ඒ වන විට ඒ ඇපල් ගෙඩියේ වූ දත් පහරවල් වලින් කැපුනු ඇපල්, තවමත් ආදම්ගේ දත් අතර සිරව තිබූ අතර ඉතිරිය හේ ආමාශයේ තැම්පත්ව තිබිණි. පණුවන් වූ කලී ආදම් ඇපල් ගෙඩියේ රස බැලූ බවට සර්ව බලධාරී දෙවියනට සපථ කිරීමට සිටි සපථ කරුවන්ය.  පණුවන් තමන් ගැන දයාව දැක්වූ ආදම් කෙරේ අනුකම්පා කොට, සාක්ෂි නසනු වස් ඇපල් ගෙඩිය ටයිග්‍රීස් ගංගාවට තල්ලු කර දැමීය. එය ටයිග්‍රීස් නිල් දිය මත පොලා පනිමින් අපූරු සලරූ දර්ශන මවන්නට විය. මේ සියල්ල දෙවියන් වහන්සේ නිලැති වළාකුලට ඉහලින් වූ හිරු මත හිඳ බලා සිටින්නට විය.

වේගය එන්න එන්නම වැඩිවූ අතර කෙදිනකවත් මෙතරම් චණ්ඩ නොවූ ගං දියේ බැස්ම, පෙරලි ගසමින් දෙවරක් සැපුම් පහර ලත් ඇපල් ගෙඩිය මුහුද දෙසට ඇදගෙන ගියේය. තමන්ගේ රැහේ පව්කාර පණුවන් කිහිප දෙනෙකු ගංදියේ මාලුන්ට බිළි දුන් පණුවන්, ඊට සලකා සපන ලද ඇපල් ගෙඩිය නොහොත් මනුෂ්‍යයාගේ අමරණීය බව නසන සාක්ෂිය විනාශ කරන ලෙස මාලුන්ගෙන් ඉල්ලූහ. එහෙත් මේ සියලු බලයන් නස්න කරමින් හිරු මත හිඳ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, සාක්ෂිය බේරා ගැනීමේ උත්සහයක නිරත විය. කෙසේ හෝ එය සාගර ගත විය. එය ලොව පලමු ඇපල් ගෙඩිය වූ අතර, සියලු මුහුදු ජීවීන් බියෙන් ඒ දෙස බලා සිටියහ. ලොව පලමු ඇපල් ගෙඩිය වූ එය අපරිමිත බලයකින් යුක්ත විය. එය මුහුදු රළ මත සෙමෙන් පැද්දෙමින් තිබූ අතර, හදිසියේ ඉහල නැගි වේගවත් රළ අතර දෝලනය වෙමින් දුරින් දුරට යන්නට විය. එය ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. ඒ සඳහා ඒ රතු ඇපල් ගෙඩිය දිය මත නොගිණිය හැකි තරම් බොහෝ කාලයක් පෙරලි කල අතර, එහි වූ අසීමිත බලය හේතු කරගෙන ඇපල් ගෙඩියට කිසිඳු හානියක් නොවී තිබිණි.

එය තවත් ඉන්දියන් සාගරය වෙත ලඟා වෙමින් තිබිණි. අවසානයේ එය ඉන්දියන් සාගරයේ රළ සුව විඳින්නට විය. ඒ රාහුල උපත සිදුවූ සමයයි. උදෑසනම ඉන්දියන් සාගරයේ සොඳුරු සුව රැළි මත දිය කෙළියට පැමිණි මල්වර වියෙහි වූ කුමාරිකාවන් විය. බොහෝ දුරට ඒ සුද්ධෝදන රාජ සභාවේ අමාත්‍ය පුරෝහිතයන්ගේ දියණියන් වීමට පුලුවන. ඔවුන් සයුරු දියේ ඔවුන් දෙසට ඇදී එන රතු පැහැති වස්තුව දෙස උද්යෝගයෙන් බැලූහ. රංචුවේ විසේකාරම කුමරිය එය වෙත ගොස් එය රැගෙන බැලූ අතර එහි ඇති මිනිස් දත් පහරවල් දෙක දෙස විමසිලිමත්ව බැලූහ. මේ විශ්මිත සොබාදහම් නිෂ්පාදනයෙන් කුතුහලයට පත් කුමරියන් එය රෙදි කඩක ඔතාගෙන සයුරු දියේ ගොඩට පැමිණ නගරය වෙත පිටත් වූහ. ඒ වනවිටත් කිඹුල්වත් නුවර දෙදුරුම් කවන සිද්ධියක් සිදුව තිබුනා. පෙරදින රාත්‍රියේ සිද්ධාර්ථයන් ගිහිගෙය හැරගොස් තිබුනා. ඇපල් ගෙඩියද අතැතිව කිඹුල්වත් නුවරට යන කුමරියනට අනෝමා ගංතෙර ලය පැලී මියගොස් හුන් කන්ථක අසු හමුවුනා. තවමත් කිරිපිඬු පූජා කරන ලද තලිය උඩුගං බලා යමින් තිබුනා. එය කුඩා තිතක්ව කුමරියනට පෙනුනා. කුමරියන්ගේ ආදරය දිනූ හැඩැති සවියැති කන්ථක අසුගේ වියෝව කුමරියනට දරාගත නොහැකි උනා. සිහිසුන් වූ කුමරිය අතින් ඇපල් ගෙඩිය අනෝමා ගං දියට වැටුනා.

තවමත් සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නෙත් ඇපල් ගෙඩියෙන් ඉවත්ව තිබුනේ නෑ. එසේම අපරිමිත බලයක් ගැබ්ව තිබූ රක්ත වර්ණ පලතුර පුෂ්ඨිමත්ව නිසොල්මනේ ගං දියේ පාවී ගියා. නැවත සාගර ගත වූවාට සැක නැහැ. තවත් වසර දෙදහස් හයසිය හයක් ගත වුනා. ඒ වන විට ඇපල් ගෙඩිය මදක් අව පැහැ ගැන්වී තිබුනා. ඒ, ලෝකයෙහි ඇපල් බහුල කාලයක්. අත්තික්කා කොලයෙන් විළි වසාගනු වෙනුවට, ගොරෝසු රෙදි කඩක් ඇඟ දවටා ගනු වෙනුවට, දුහුල් රෙද්දෙන් මසා නිමකල ඇඳුම් බොහෝ තිබුනා.

එකෙකුට බාගයක් සේ සරිලන ලෙස මිලදී ගෙන තිබූ අරක්කු නිමවී තිබුනා. මා සහ අනෙකුන් පස් දෙනා ගල්කිස්සේ අපේ මුහුදු වාඩියෙන් නික්ම වෙරළේ ඉබාගාතේ ඇවිදිමින් සිටියා. සැන්දෑවේ හතර පසුවෙමින් තිබුනා. වෙරිය වැඩි කරගනු වස් සියල්ලෝ දුම් උරමින් උන්නා. බාගෙට හප කල පුහුල් දෝසි කැබලි සියල්ලෝ අතේ උනා. රතු පැහැති යමක් මා වෙත මුහුද දිගේ ඇදී එමින් තිබුනා. එය මා වෙත ඇදී එමින් තිබුනා. මා බමණ මතින් මුහුදේ ඉදිරියට ඇවිද ගොස් එය අතට ගත්තා. ඇපල් ගෙඩියක්! හපාපු ඇපල් ගෙඩියක්! රක්ත වර්ණ සරල වටපිටාවේ නිල් පැහැයක් මවමින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතු වුනා. ඒ වන විට මා අතේ කූරක් දැල්වෙමින් තිබුනා. තැම්බූ සෝගම් දේව පානය බව බමණ මත ඔස්සේත් මට සිහියට නැගුනා. මා අත තිබූ රසෝඝය දෙස අවඥ්ඥාවෙන් බැලුවා. මා නැවත වෙරළ දෙස හැරී බැලුවා. සගයින්ගෙන් එකෙකු මා දෙස බලමින් කෝපාග්නිය පිට වෙන දෑසින් සිනහා වෙමින් උන්නා. තවකෙකු මා පසුපසින් ඇවිත් සිටි අතර ඌ මුහුදු ජීවියෙකු හා කතා කරමින් උන්නා. දෙදෙනෙක් අනවරත රිද්මයකට ගල් තලාවකට පිටදී වෙරළට සිනහා වෙමින් සිටියා. අනෙකෙක් ගල් බෝතලයක අවසන් බිඳු දාහතර එක්කරමින් සිටියා. නැවත දෙවියන් දෙසට හැරුණු මා අව පැහැ ඇපල් ගෙඩිය දෙවියන් වහන්සේ දෙසට විසි කලා. එය, මාගේ රක්ත වර්ණ ලෝකය මැද වූ නිල් පැහැ දුමාරයේ සැඟව ගියා. අවසානයේ සාක්ෂිය විනිසුරුතුමා අතට පත් වුනා.

ජීවීන්ගේ අමරණීයත්වය ගිලිහෙමින් තිබුනා. අමරණීයත්වය නිෂ්ප්‍රභා වීමට පෙර සිටම මාගේ මලණුවන් මිය ගොස් සිටි අතර, මාගේ අම්මාගේ එකම සහෝදරයා ඝාතනය කරනු ලැබ තිබුනා. මා කේන්තියෙන් නිල් පැහැ දුමාරය සොයමින් සිටියා... කේන්තියෙන්!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

26 ක්ම තියෙනවා අදහස්:

නචියා said...

උඹලා හොදට බීලා කියලා නම් තේරුණා.... අවුලක් නැතුව ගෙදර ගියානේ... ඔලුව කොහෙද වැදුනේ බන්....

ඕනයා said...

බොනකොට ගානකට බීපං මචං. බල්ලට අංකල් කියන ගානට වැදුනම ඔහොම දේවල් හිතට එනව තමයි . . ..ඒ නිසා ආයෙ බොද්දි කල්පනාවෙන්

Lishan Puwakowita said...

ඇපල්ගෙඩිය මධ්‍යලක්ෂය ලෙස තියාගෙන වටපිටාව අවසර 2600ක් රූපාන්තරය කිරීම හරිම අමාරුවැඩක්. උඹ එය යම්තරමකට ජය ගෙන තිබුණත්, මම තවම ඒක උත්සහ කරලා වත් නෑ. මොකද මම මේ ගැන තවම හිතලා නෑ.., අමරණීය බව නසන ලොව එකම පළතුර වසර 2600ක් කෙලවර වන විට බහුල වීම ම, ලොවේ තාවකාලිකත්වය රජයන අනාගතයකට පා තියූ බවට හොඳ සලකුණක්. සංඛේත ඔස්සේ උඹ කියන්න හදපුදේ මම හරියට ම ගත්තා ද කියලා මගේ හිතේ තවම ප්‍රශ්ණාර්ථයක් තියෙනවා.
සෙට්වෙලාම කතා කරමු මේ ගැන..!
ජය!

indi said...

කාල ගැලපුම මදි....ලෝකෙ මවපු වෙලාවෙ තිබ්බ ඇපලක් කෝමද බුදුන් කාලයට එන්නෙ...

මුචලින්ද said...

@ඉන්දි: හහ්හා.. මට පිස්සුනේ සහෝදරයා! ඒක තමයි ඔය මම හැම තැනම සඳහන් කරපු පලමු ඇපල් ගෙඩියේ අපරිමිත බලය.

@ලිෂා: ඕන මගුලක්! උඹ දැන් ඇත්ත අදහස අරං ඇතියි කියලා හිතනවා.

@නචියා @ඕනේ: මම බිව්වේ නෑ ඕයි! ගනං ගන්නෙපා!

hare :-) said...

මේක ඇතුලෙ උඹ කියන කතාව මට තේරෙන්නෙ නෑ සහ මම ඒක තේරුම්ගන්න ඕනත් නෑ කියල උඹ දන්නවනේ. ඒත් මේ රූපාවලිය විශිෂ්ඨයි. මම ඔය හැම තැනකම ගියා... ඒත් අපි ලෝකෙ වටේ කොහේ ගියත් අන්තිමේ කැරකිල එන්නෙ ඔතනට!

මුචලින්ද said...

අන්න ඕකමයි මටත් ඕන ලොකු අයියේ! තේරුම් ගන්න කිසිම ඕනකමක් නෑ. අපි ආපහු එන්නේ මෙතන්ට! මට ඕනම වෙච්ච කමෙන්ට් එක.. ජයෙන් ජය!

බුද්ධි said...

මන්දා මේ මාඥ්ඤමික අදහස මෙතෙන්ට ගැලපෙනවද කියලා!

මට තේරෙන්නෙ ඇපල්ගෙඩිය තමා මෙතන වටිනාම දේ.

අමරණියත්වය නිෂ්ප්‍රභා වීමට හේතුව ඇපල් ගෙඩිය.

අමරණීයත්වය නිෂ්ප්‍රභ වීමෙන් මැරි මැරී යන සත්වයින්​ට නිර්වාණය බලාපො​රොත්තුවක්.

ඇපල් ගෙඩියයි ඒකට මුල.:D

Ansh Lucky Sri Jay said...

ආවග මෙසේ සටහන් කරමි. වෙන කමෙන්ටුවක් දාන්න විදියක් නෑ, මෙය නොතේරේ. :D

මාරයාගේ හෝරාව said...

හේතුවම හොයපං..ඒක නසපං..ඒත් කරුමෙට ඒක හම්බ උනහම අපිට ඒක නසන්න හිතෙන්නෙම නැහැනේ...

Hasitha said...

අනේ මන්දා...........

දුකා said...

පොල් ගසක් යට සිට දුමක් අදිමින් අඩියක් ගසමින් සිටින විටෙක කුරුම්බා ඇට්ටියක් මුචාගේ ඔලුවට වැටී ඇත් .. අහෝ ඛේදයකි . . ඉරකි තිතකි . .

හෂිත said...

කෝ බං අර 'කියලා වැඩක් නෑ' කියන බොත්තම..කියවපං ලියපං.. මසුරං

මුචලින්ද said...

හැමෝම හැමදේම වැදගත් බුද්ධි අයියා. මේ ලෝකේ අඩු වෙන වැලි කැටයක් ගානෙ අපිට ඒ බර කරගහන්න වෙනවා.

අසංකා අක්කා මොනවද අප්පා ඔච්චර තේරුම් ගන්න තියෙන්නෙ!

"ඔව්වා නසන්න අපි මොක්කුද බං" කියලා අපිට හිතෙනවා හේතුවා හොයාගත්තට පස්සේ..

අනේමන්දා තමා..

පොල් ගෙඩියක් වගේ මගේ ඔලුවට කුරුම්බැට්ටි නං මොනාද ලොකු අයියේ..

අම්මෝ ලොකු අයියේ.. මගේ පුංචි කියවන ලෝකේ පොරක් වෙච්ච උඹෙන් "තුඃ" කියලා කියවුනත් සැපයි!

Umesh said...

බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම හා මුචාගම.. අපූරු සංකලනයක්, අපූරු චිත්ත රූප එකතුවක්.

උඹ කොලේ වහලා කියන්න හදන හරුපෙනම් මට තේරෙන්නෙ නැහැ, ඒත් ඔච්චර බොන්න එපා බන්, මට උඹත් එක්ක කතා කරන්න වෙන්නෙ වයසට ගියාම.

චතුරංග පෙරේරා | chathuranga Perera said...

රූ මැවීම නම් විශිෂ්ඨයි. සහෝට තිබුනේ Editing වගේ ක්ෂේත්‍රයක් තෝරගන්න. හැබැයි කියන්න ඕනෙ, කථාවේ අර්ඨය මට තේරුනෙත් නෑ. අවසානය පැහැදිලිත් නෑ. හොඳ ෆැන්ටසියක්...

kombuwa said...

අනේමන්ද බං...වැඩිය තේරුණේ නෑ. උඹ එපා කියන හින්දා තේරුම්ගන්නත් ඕනෙ නෑ වගේ. :D
මොනව වුණත් මේ රචනා ශෛලිය(spelling හරිද මන්දා) නම් මරේ මරු! :)

නෙරංජි සුලක්ඛනා said...

කාලාන්තරයකින් මේ බ්ලොග් එක පැත්තෙ ආවේ....මේ බ්ලොග් එක කියවීම මම ඒ කාලෙ අත් ඇරියා..මේකෙ යන දේවල් මට තේරුණේ නැහැ. දැන් ටිකක් තේරෙන්වා වගේ.... මේ පෝස්ට් එක නම් මරු.. ඇපල් ගෙඩියක් ගිය දුර....ඇත්තට මේවා හිතෙන්නෙ කොයි වෙලාටද?

අමා said...

හරිම අපුරුයි. හැබැයි සම්පුර්නෙන් තේරුනේ නම් නැහැ. කොහොම නමුත් නොතේරෙන දේවල අපුර්වත්වය වැඩියි.

මුචලින්ද said...

උමේෂ්, බොන එක ගැන ලියන මිනිස්සු හැම එකාම බොන්නේ නෑ. බිව්වත් එහෙමකට බොන්නේ නෑ. මම උඹට හොඳම උදාහරණෙ කියන්නෙ නෑ මෙතන ඒක අසභ්‍ය වැඩි නිසා. පස්සෙ වෙලාවක අහගනින්!

චතුරංග, මචං අර්ථ ගැන හිතන්නෙපා. ඇහෙන දේ අහගෙන හිටියම ඇති. හොඳටම ඇති. මට එඩිටින් ටිකක් පුලුවන් උනාට ජොබක් කරගෙන යන්න තරං හැකියාවක් නෑ!

කෝසල, ඒක හොඳයි! ස්පෙලින් හරි හෝ වැරද්දෙන් දීපු අදහසට ස්තූතියි!

නෙරා, කාලාන්තරේකින් හරි ආපු එක මදෑ. ඉස්සර ඒව එච්චරටම අවුල්ද? මොක උනත් ඇපල් හරි හොඳ දෙයක් ;-) හිතෙන්නෙ නම් අවේලාවට!

අමා, මෙන්න පොඩි කතාවක්. එක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් හිටියලු. මාධ්‍ය සාකච්ඡාවකදි මිනිහගෙන් ඇහුවලු සත්තුන්ව අඳින්නද කැමති, අවතාර දෙවිවව්‍ර වගේ දේවල් අඳින්නද කැමති කියලා. මිනිහා ගත්තු කටටම කිව්වේ අවතාර දෙවිවරු. මොකද?? මිනිස්සු සත්තුන්ව දැකලා තියෙන නිසා උන්ව ඇන්දොත් අඩු පාඩු දකින්න ඉඩ තියෙනවා. අවතාරයක් දෙවියෙක් කොහොම උනත් කාටවත් අවුලක් නෑ. ඒගොල්ලෝ හිතන්නෙ ඒක අවතාරෙ අඩුවක් කියලා. අන්න ඒකයි අපූර්වෙ!

හූනා .. said...

ඊයෙ හදිස්සියේ කියොල පැනල දිවව මිසක් කොමෙන්ටුවක් දාන්ට වෙලාවක් ති‍බ්බෙ නෑ අයියෙ.
අම්මප මාරයි.කාලය සහ ගැලපීම වගේ පොඩි පොඩි ප්‍රශ්ණ තිබ්බට ආයෙ මරුම මරු සංකලනයක්. ක්‍රිස්තු ධර්මයේ බයිබල් පළමු කොටස බුද්ධ චරිතයේ සිද්ධි එක්කල මෙච්චර මැච් වෙනව දකිනකොට මරු.තව තවත් මේ වගේ රාමුවෙන් විසිවෙච්ච කොරන්ඩ ඔබට ජය!

තේජාන් මල්ලි said...

නියම Story එක මුචා.......නියම චිත්ත රූප මැවීමක් අදහස නම් ටිකක් ටිකක් පැහදිලියි
පොඩි වැරද්දක් වෙලා තියෙනවා ඔය කිරි පිඩු දානේ තලිය කතාව ඔතනට ගන්න බෑ මොකද ඒ සිද්දිය වෙන්නේ ඔයිට අවුරුදු 7 කට පස්සේ නේරන්ජනා නදිය ලග අනෝම ගග නෙමේ
ආයෙත් කියන්නේ සිද්දි ගැලපීම නම් නියමයි.

මුචලින්ද said...

@හූනා: ඒක තමා බං මුලින්ම කිව්වේ ඒ කාල නිර්ණයන් ගැන හිතන්නෙපා!

@තේජාන්: අහ් එහෙමද මචං! හික් හික්.. මගේ දැණුම තමයි!

Anonymous said...

උඹ ඇපල් ගෙඩිය ආපහු දුන්නා.. වැඩක් නෑ තියාගත්තත් වැඩක් නෑග

මුචලින්ද said...

@ඇනෝ: කාටත් වැඩක් නෑ. හැබැයි අපරාදෙ විසිකලේ

Beetle said...

අද තමයි කියෙව්වේ... පරණ වෙන්නැති පොස්ට් කියවන්න දවස වැදගත් නෑනේ...

ලිශාන්ගෙ කමෙන්ට් එක දැක්කම මට හිතුනේ... රොක් ක්ලයිම්බින් ක්‍රීඩාවේ යෙදෙන අය ඒකෙන් විනෝද වෙනවානේ.. ඒකට සහභාගී වෙන්න බැරි අය ක්‍රීඩාව කරන හැටි බලලා සතුටු වෙනවා... අපි එහෙම සතුටු වෙමු.. :D

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!