"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, May 26, 2011

නුඹටත් දැනුනාද සකියනේ


සදා දුඹුරු වත මගටම සසල වුණේ
පතා සුවහසම තම තමන් වෙනුවෙනේ
විටෙක විරිඳු තවිටෙක කවි ගයමිනේ
සිඟනුන් වීදියේ වැඩි කිමද නිරිඳුනේ

දෑසේ දුක මවා රැවටුවද කෙනෙකුත්
දෙකකුල් කොර කරං නැම්මුවද හිතකුත්
දරුවෙකු වඩං යහමින් හැඬුවද කොතෙකුත්
කෙසේ පුදනු වෙද මගියා නොහැකි මුකුත්

තේකට පෙඟුණු පාන් වේල සරිද සිරිනිණේ
දා පෙරුණු මිණිසුන් ලුහු අතින් නෙවෙද විසිරුණේ
බැලුවත් නොදුටු මෙන් උඩ බලනවාද සිඟනුනේ
මරණයෙහි සුවඳ නුඹටත් දැනුනාද සකියනේ

ටයි පොලු දමා යටි මඩිකම් තොරක් නැතී
සළුපට ලිහා දෙන වත වෙත අධි මිලැතී
කාකි ඇඳුම වෙත පගාව ඇවිද එතී
සිඟමන උඩට ඔය පක්කලි යටට යතී

පන්සල් රෝහල්ද මහ සැල් අසල හිනැහුණේ
දුකම උරුමයද යට ගිලි නෙතු තුල තිබුණේ
රුපියල දෙකට එක්වුණු අත් බිම නැමුණේ
හෙටක් නැති රටක ධජය නුඹලාද සිඟනුනේ


"මංජුල වෙඩිවර්ධන කවියක්" පාදක විය.
ඡායාරුව අයත් වෙබ් අඩවියට යෑමට ඒ මත ක්ලික් කරන්න.

Saturday, May 14, 2011

ලස්සන නගරය

සාෂා: කෝ ඉඩ දෙන්න මේ මේසේ ගන්න.

දිමිත්‍රි: මම වැඩකට ආවොත් ඔහොම්මමයි.

සාෂා: මම මේසේ ඉල්ලුවේ රෑ කෑම මේසෙට අරින්න.
         දැන් දුයිෂෙන් පහලට එනවත් ඇති.

දිමිත්‍රි: මමත් "ලස්සන" නගරේ රස්සාවකට ෆෝම් පුරවන ගමන්.
         ඒක වැදගත් නැද්ද?
         ලස්සන නගරයේ ගන්න රෑ කෑම වේලක් කොච්චර ලස්සනද කියලා දන්නවද?


තරප්පු පෙලෙහි ලී කිරි කිරිය ඇසේ. දුයිෂෙන් පහල තට්ටුවට පැමිණේ.

දිමිත්‍රි: ආහ් දුයිෂෙන්, අද රෑ කෑම පරක්කුදත් මන්දා..
         සමාවෙන්න ඒ ගැන.

දුයිෂෙන්: අහ්, ඒකට කමක් නෑ.
              මොකෝ දිමිත්‍රි මහත්තයා හැමතැනම කොල දිගෑරලා.
              වැදගත් වැඩක් වගේ.

දිමිත්‍රි: ඔව්... මේ "ලස්සන" නගරේ රස්සාවකට යන්න කියලා.

දුයිෂෙන්: "ලස්සන" නගරේ?

දිමිත්‍රි: ඔව්! ඇයි දුයිෂෙන් අහලා නැද්ද ඒ ගැන?
         ලස්සන ගෙවල්.. ලස්සන වාහන වලින් උඩට යන දුම් රොටු..
         ලස්සන කුමාරවරු කුමාරියෝ ඉන්න.
         එහේ කපුටොත් සුදුයි ලස්සනයි.

දුයිෂෙන්: අහන්නත් සතුටුයි! එහේ මිනිස්සු සතුටෙන්ද?

දිමිත්‍රි: නැත්තං තමා පුදුමෙ. දුයිෂෙන් දකින්න තිබ්බේ මිනිස්සු එහේ යන්න වෙන මහන්සිය.
         ඒක නෙමෙයි කොහොමද කෑම?

දුයිෂෙන්: වෙනදා වගේමයි. හොඳයි!
              එහෙනම් දිමිත්‍රි මහත්තයා මම උඩට යන්නම්.
              මෙන්න මේ මාසෙ කුලී සල්ලි. දවස් තුනක් පහු උනාට සමා වෙන්න ඕන.

දුයිෂෙන් පිටව යයි. සාෂා දෙ අත් පිසදමමින් පැමිණෙයි.



සාෂා: මොකෝ දුයිෂෙන් කියන්නේ?

දිමිත්‍රි: මම මිනිහට ලස්සන නගරේ ගැන කිව්වා.
          මිනිහගේ ඇස් ආශාවෙන් දිලිසුනා.

සාෂා: නෑ... මම කියලා තියෙනවා හිතට එන හැම අදහසම පිට උන්ට කියන්නෙපා කියලා.

දිමිත්‍රි: ඔව් මටත් එහෙම හිතුනා.
         මිනිහත් එහේ ගියොත් අපිට කුළී කාරයෝ නැතිවෙනවා.

සාෂා: ඒකනේ. මිනිහා උත්සහවන්තයා. රස්සාවත් හොඳයි.
         තාම සම්බන්ධෙකුත් නෑ මයෙ හිතේ.
         දැන් එතකොට ඔයා වැඩට ගියොත් ඒ මිනිහයි මායි මෙහේ තනියමද?


සාෂා දොර වසාගෙන පිටව යයි. දිමිත්‍රි මේසය මත හිඳගෙන දෙ අත් වාරුවට හිස බර කරගනී.


ඇඳ: මෙච්චරකල් ඔයාගේ වෙහෙසිල්ලට ලී අතුල්ලපු මට ඔයා නගරෙට ගියාට පස්සේ,
        වෙනින් එකෙක්ට හයියට හිටින්න වේවිද?
        ඒකත් කමක් නෑ කියමුකෝ.
        එතකොටත් මගේ උඩ ඉන්නේ කලින් හිටපු සාෂාමනේ.
        සාෂාගේ උඩ ඉන්න කෙනා විතරයි වෙනස්.

දිමිත්‍රි: මොකක්?

පොත් රාක්කය: මොකක් තමයි.
                         කොහොමද ඔයා අමාරුවෙන් එකතු කරං මගේ අතුරපු පොත්,
                         වෙන උන්ගේ ළමයි කියවනකොට.
                         ප්‍රශ්නයක් නෑ ඒ සාෂාගෙත් ළමයි නේ.

දිමිත්‍රි: නෑ..!

මේසය: නැතිවෙන්නේ කොහොමද?
           මගේ උඩ තියෙන බන්දේසි වලින් අරගෙන ඔයා කැමතිම බටු මෝජු,
           සාෂා අතින් දුයිෂෙන් ගේ පිඟානට බෙදද්දි මට උහුලන්න බැරි වේවි.

දිමිත්‍රි තවමත් එලෙසමය. සාෂා මගුල් පින්තූරය පිස දමයි. දිමිත්‍රි හදිසියේ මේසය මත විසිරි කොල එක් රැස් කරයි. දුයිෂෙන් දොර හැර පැමිණේ.



දිමිත්‍රි: ආහ්.. දුයිෂෙන්! අදනම් මහන්සි පාටයි මිත්‍රයා.

දුයිෂෙන්: දන්නැද්ද හවසට බස් වල එන එක ඉතිං!

දිමිත්‍රි: වද වින්දා ඇති නැද්ද? මට ඔයාටම හරියන රස්සාවක් හම්බුනා.

දුයිෂෙන්: මොකද්ද? පඩි කොහොමද? කොහේද?

දිමිත්‍රි: දෑතේ වැඩ තමා.
         ගෙවීම් හොඳයි කියලයි ආරංචිය.
         වෙන කොහෙද "ලස්සන" නගරේ මිසක්!

දුයිෂෙන්: අහ්.. මාත් ආසාවෙන් හිටියේ.. ස්තුතියි දිමිත්‍රි මහත්තයා.

දිමිත්‍රි: මෙතන තියෙනවා තොරතුරු.
           ඔය පහල නොම්බරේට sms එකක් ගැහුවම ඒ මිනිස්සු අපිට කෝල් කරනවා.
           අන්න එහෙමයි "ලස්සන" නගරේ වැඩ.

දුයිෂෙන්: ඉතින් දිමිත්‍රි මහත්තයා නොයන්නේ?

දිමිත්‍රි: කොහේ යන්නද අයිසේ..
         සාෂා කැමති නැහැනේ මොහොතක්වත් මම නැතුව ඉන්න.


නිමි.