"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, December 17, 2010

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]

මා දවසේ ප්‍රියතම කුල්මත්ම මොහොත ගත කරමින් සිටිමි. බිත්තියේ හරි මැදින් උඩ කොටස ළා කොල පැහැයකි. එහි යට කොටසට ළා නිල් පැහැ ටයිල් අල්ලා ඇත.බිම ක්‍රීම් පැහැති ටයිල් මත මාගේ අඩි සළකුණු රටා මවා ඇත. මෙය මා උපරිම නිහඬ බවකින් සහ සුවඳවත්ව ගත කරන කාලයයි. ඒ ලැවෙන්ඩර් සුවඳ විය යුතු යැයි මා සැක කලෙමි. හැඩ කැටයම් කපා ආලෝකයන් වට කර ඇති මැටි බඳුනෙන් සිවිලිම මත රටා මවා ඇත.
ජලය ප්‍රවාහයක් මෙන් නොව, සුමට පෘෂ්ඨයක් දිගේ විත් සිහින් හඬක් නංවමින් වැඩිමනත් ජලයට එක්වේ. සැහැල්ලු රිද්මයක් ලබාගනු වස් මා ෂවරය තුල එළි බසිනු තැතනූ ජල බිඳු නිදහස් කලෙමි. හුස්ම ඉහල පහල වැටෙන වාරයක් පාසා ඉන් ශරීරයට ලබා දෙන උත්තේජනය පවා මට දැනෙයි. මෙතුල එතරම් නිස්කලංකය. දැන් මා පිට විය යුතුය. මා මන්දිරයෙන් එළියට බැසීමි.

දොර හැර නිවසින් එළියට බට මා දෙවරක් නොහැරී යලිඳු කාමරයට දිව ගියෙමි. නැවත මා පැමිණියේ කැමරාව සමගිනි. එසේ සිදු වූයේ මිදුලේ වූ තුරුපත් මත පිණි නිසාවෙනි. තුරුපතක් මත පිණිබිඳක් එවන් හැඩයක් නගනු මා අතිශයින් වින්දෙමි. පිණි බිඳට එබී බැලූ මා එතුලින් දුටු ඡායාරූපය සටහන් කරගැනීමට මාගේ කැමරාව තරම් නොවීය.
කලකට පසු එලිමහනේ ඇඟ සෝදන්නට සිත් විය. ලොකු බාල්දියක වතුර පුරවා, එයින් කුඩා බාල්දියකින් වතුර ඇද ඇඟ සේදුවෙමි. පලමු දිය පහර දෙවුරිස් මත්තේ සිට බිමට වැටීම සිතට ලෝබය ඉපදවීය. එම ස්පර්ෂය මා ගැහැණියගේ ළය මත හිස හොවා ඇගේ දෑතෙන් ලත් රැකවරණයේ සහ උණුසුමේ පහසට පමණක් දෙවනි විය. ජලය අපතේ යමින් ඇත. එහෙත් එය නැවත නැවතත් විඳීමට යමක් ඉතිරි කලේය.
සරමක් හැඳ මිදුලට බැසීමි. වයස්ගත කොට්ටෝරුවෙකු ගසක් සමග පොරබදනවා විය යුතුය. මන්දයත් ක්ෂණයක් තුල තරුණ කොට්ටෝරු හොටෙන් ඇතිවන ශබ්දය සහ මා දැන් අත්විඳින ශබ්දය අතර වෙනසක් දැණුනි. නැත! හේ මිනිසෙකි. පවුල සහ තමන්ගේ පැවතීම හේතු කොට ගස් කපන්නෙකි. නිල් පැහැ අහස් කැන්වසය මත ඔහු මට චිත්‍රයක් විය. 
මා කුස්සියට වැදුනෙමි. මේසය මත දිගහැරුනු රතු දැල් මල්ලකි. මා ඒ තුල වූ දෑ මින් පෙරද රස විඳ ඇත. කොටුවේ එය විකුණන්නේ "මිනි මැන්ඩරින්" නමින්ය. ඒ කුඩා ප්‍රමාණයේ දොඩම් ගෙඩියකි.
මා විශාල ප්‍රමාණයේ දොඩම් නොකන මුත් මේවාට ආසාය. පලතුර සුද්ද කර බික් ගැලවීම මා ඉතා ආශාවෙන් කරන්නකි. කනට නෑසුනද මිනි මැන්ඩරින් ගෙඩියක බික දෙකක් ලෙහෙන විට "ශ්‍රීස්" ශබ්දයක් ඇති කරයි. එය මසිතින් ඇතිවන්නක්ද යන්න මා නොදනී. සමහරෙක් මිනි මැන්ඩරින් ගෙඩි වල බික් හී කවරය ඝනය. ඒවා ආහාරයට ගැනීම කුඩා කල බීම පැකට් සිහියට නංවයි. කෙසේවෙතත් මෙය විසින් මා හට විටමින් සී පෝෂණය සහ රස ලබා දීම හැරුණු කොට වැඩ රහිත පැයක කාලයක් ගෙවා දැමීමට උදව් කරයි.

මා ජීවත් වන්නේ රත්මලාන ගුවන් තොටුපල අසලය. එබැවින් මා කුඩා කල, ගුවන් යානා දකින අන් දරුවන් මෙන් මා කරේ තබාගෙන් ගුවන් යානා පෙන්වීම මාගේ දෙමාපියන්ට නොකල යුතු විය. අපමණ ගුවන් යානා ප්‍රමාණයක් දිනකට දකින බැවින් ඒවායේ ඡායාරූප ගැනීමක්ද මෙතෙක් සිදු නොවිනි. හදිසියේ උපන් සිතුවීල්ලකින් මා ඩිජියද උස්සාගෙන මිදුලට බැස අහස බලා සිටියෙමි. නිවස ඉදිරිපිටින් ඇදුනු කරන්ට් වයර් එක ඡායාරූපයට බාධාවක් නොකරාවි යැයි සිතුවද, එය එසේ නොවීය. සියයට සියයක්ම එය එසේ විය.
ආහාර වේල් ක්‍රමයට ආහාර ගන්නා සමාජයක, මටද එයට හැඩගැසෙන්නට සිදුව ඇත. නොයෙක්වර, සැඟව ඇති ගති පිටට එන නමුදු මමද වේල් ක්‍රමයට අනුගතව ඇත. ප්‍රධාන ව්‍යාංජන හතරක් තිබුනතර, මට ඉන් දෙකක් සෑහෙනුයේ ඒ මා ප්‍රියතම ඒවා බැවිනි.
ඒ උයන ලද රතු ළුනු සහ පොලොස් ය.

මා නැවතත් මිදුලේය. අම්මා වවන ලද මල් ගස් බොහෝමයක් වූ අතර ලියවැලක් මෙන් ඈරී තිබූ දම් පැහැ ඕකිඩ් රෑන කවදත් දෙවරක් මා හැරී බලවන්නට සමත්ය.

නැවතත් පටන්ගත් වැස්ස නිසාවෙන් මා කාමරයට වී සිටි අතර එහි වූ ජනේලයෙන් මට මැද මිදුල සහිත කොටස දිස් විය. එහෙත් එයට සියුම් බාධාවක් වූ අතර, ඒ අනෙකක් නොව මකුළු දැලකි. අපිරිසිදුකමද වාසනාවක් වන්නේ මෙවිටය.
සවස හයට පමණ වර්ෂාව නැවතුනු අතර , මා යලිඳු මිදුලට බැසීමි. අද සවස හය වෙනදා සවස හයට වඩා කලුවර විය. මේ හිරු බසින ඉම නොවෙත්දෝයි හැඟිනි. එහෙත් එය ස්ථීර කරන්නට හිරු නොසිටි අතර ඉතිරිව තිබුනු නිල් සහ කලු සුසංයෝගය මා සිත් ගත්තේය.
තවමත් වැස්ස අවසන් නැත. මා උළුවස්සට හේත්තු වී ඈත බලා සිටි අතර වැඩි ඈතක ඇස් නොගොස්ම තවත් දසුනක් ඇසට සමුවිය. ඒ එහා ගෙදර ඉදිරිපිට වූ ලයිට් කණුවයි. තවත් හතට විනාඩි දහයක් පමණ ඇති මුත් මේ ගෙන දුන් කලුවරම එම දර්ශනයට ආශිර්වාදයක් විය.
රාත්‍රී හතකුත් ගණනකට ඉටිපන්දම් අපගේ පිහිටට පැමිණියේ විදුලි විසන්ධිය නිසාවෙනි. දොර හැර තිබූ නිසාවෙන් වැස්සත් සමග පිටතින් පැමිණි සුලං කෝඩෙට ඉටිපන්දම් එළි නළියයි.
රාත්‍රී අටහමාරත් පසුව ඇත. රාත්‍රී ආහාරයද ගෙන හමාරය. තවමත් විදුලිය නොමැත. කැමරාවේ බැටරිද ඉතිරිව ඇත. මාගේ ආශාවද පෙරසේම දඟ කරයි. මේ Light Circus නම් වූ සොඳුරු රටාවන්ට වේලාවයි.
එතෙකින් නිමි!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

16 ක්ම තියෙනවා අදහස්:

Jay said...

සිරා පෝස්ට් එක..
සුපිරි ෆොටෝ ටික..!!!

LishWish said...

මේකට සිරා කියලා ඔහේ ඉන්නවා නම් ඒක ඒ මනුස්සයාගේ නොදැනීම.., මන්දා මට හිතෙන්නේ ඒ විදියට..,
මේක මට වදින්නේ වෙනත් විදියකට මම දන්නේ නැහැ මම හරිද කියලා.., ඒත් මට හිතෙන්නේ උඹ උඹේ ජීවිත කාලේ පින්තූර වලින් රෙකෝඩ් කරනවා කියලා.., කොහොමද කියලා අහන්න එපා.., ඒත් මට හිතෙන්නේ එහෙම.., මේ දවසක වාර්ථාවක්.., ඒත් වෙනස් වෙන්නේ වෙන දවස් වලින් පොඩිත්තයි.., මමත් දුකා දුන්නු කැමරාව අරගෙන පොඩි පහේ රස්තියාදු ගහනවා උනත් මෙහෙම කරන්න තරම් මට අදහස් ගලා එන්නේ නැහැ..! ඒනිසා මට මේ ලියමන මාරම "එකක්".
මගෙන් ඒ විඳීම ගැන අහන්න එපා.., මම ඒකට පුදුම තරමේ ආස නිසා ඒ හැඟීම මා එක්කලා විතරක් තියෙනවාට මම මාර ම ආසයි..! උඹට ජය..!
තව පින්තූර ලියපන්..!

Supun Sudaraka said...

අර පරණ රුසියන් ළමා කතා පොත් (චිත්‍ර එක්ක තියෙන) මතක් වෙනවා! :)

පිණිබිඳු... said...

වාර්තා චිත්‍රපටියක් වගේ. අපූරුයි සහෝ.

hare :-) said...

එක තැනක ඉඳන් ගිය පොඩි ට්‍රිපක් වගේ... අර කළුවරේ ලයිට් එකෙන් වැස්ස ඉරි විධියට පේන පින්තූරෙ නම් නියමෙටම නියමයි!

Yasasi Rajapakse said...

නියමා....යි!!!!!

පූසා said...

පට්ට.........

Raven said...

[ස්පර්ෂය+රසය+රිද්මය+සුවඳ+ආලෝකය]< වින්දනය.

එමනිසා

කියලා වැඩක් නෑ.නියමයි.

charmi said...

මේක මම හිතන්නෙ එදිනෙදා ජීවිතයේ අංශුමාත්‍රයන් කීපයක් ප්‍රතිරාමුගත කිරීමක්.
මේ අවශේෂ දේවල් ඔබ වින්දා වගේම මේ රාමුගත කිරීම තුළින් අපටත් දැනෙනවා.
අපූරුයි.

Rachintha Jayawardhana said...

බොහෝමත්ම ස්තූතියි වචනයක්වත් හලලා ගියාට. මම හුඟාක් ආසාවකින් ලියන ඒවට කමෙන්ට්ස් අඩුයි කවදත්. කලින් ලියපු "පෙරේරා තුන් හවුල සහ බයිලා" එකටත් මේ විදිහමයි. ඒ නිසා මට තේරෙනවා මම වෙනදට ලියන කතා වලත් ඒවයෙත් ලොකු වෙනසක් වෙන විත්තිය. ඒක මට සතුටක්! කමෙන්ට්ස් අඩු උනාට අවුලක් නෑ. මම බොහෝමයක් දුරට මේ ටයිප් එකට ලියන්න උත්සහ කරනවා. අඩු එකේ අඩු ගොඩට හයියක් වෙච්ච උඹලට ස්තූතියි! ජය!

දුකා said...

අදයි කියවන්න වෙලාවක් ලැබුනේ.

පිස්සු හැදෙනවා බන් . ..

හරේශ් කිව්ව වගේ ට්‍රිප් එකක් ගියා වගේ හැඟීමක් කියවන්නාට දනවන්න පුලුවන් විදිහට මේ වැහි දාක දවසක දවසක් උඹ ලියලා තියෙනවා බන්.

මාරයි

Anonymous said...

උපරිමයි.. ඉතාම ලස්සනයි

ආගන්තුකයා | Stranger said...

මිනිහා අත්දැකීම් එලියට දාන්නේ එක එක විදිහට ඒක කතා කවි ජායාරූප චිත්‍ර වෙන මොනාහරි.. උඹෙ ඒක එලියට එන්නේ ඔය පින්තූර වලින්.. මරු.

ඩෝසන් said...

ඡායාරූපයක අන්තර්ගත වන්නේ ආලෝක වියමනක් යැයි කීවද එය කිසියම් කතෘකාරකයකු අතින් වියෙන්නේ ද නැති පැරක්ඩොක්සීය වියමනකි. මන්ද යත් කැමරාවෙන් පිටත වස්තු සිය ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ ඡායාරූප තහඩුව මතදී පමණක් බැවිනි. එසේ නැත්නම් වියන්නේ කවුද යනාදී වශයෙන් ප්‍රශ්න කළ විට පිළිතුරු අවිෂය වන්නා වූ කතෘ අඥාත වන්නා වූ ද ක්‍රියාවලියකි. කැමරාව එල්ලයට ගෙන එහි සමෝධානීය කෝණයේ ආලෝක ව්‍යූහය සහ ෂටරයේ වේගය පරිපාලනය කිරීම යනුම වියමනේ තත්වය පිළිබඳ තීරකයන් වීම වුවද එය කතෘත්වය නොවේ. කතෘත්වය නිෂේධනය වීමක් ද නොවේ. එම හේතුව නිසාවෙන්ම එහි පැරඩොක්සීය බව ජනනය වෙයි. ඡායාරූපයක කතෘත්වය හෝ නිර්මාණාත්මක කතෘභාවය වාච්‍යාර්ථයෙන් පැරඩොක්සීය වන්නේ එලෙසය. ඡායාරූපය ඵලකය මත ප්‍රතිබිම්බගත වන වස්තූන්ගේ ආකෘතිමය සම්බන්ධතා ඇති කරගන්නේ කතෘත්වයකින් තොරවය යන්න විවාදාත්මක එළඹුමකි. මෙය පැහැදිලි කරගත හැකි හොඳම උදාහරණය මෙම ඡායාරූප අතරින් ම ගත හැකිය. ගුවන්යානාව සහ විදුලි රැහැන සමපාත වී ඇති ඡායාරූපයේ එම සමෝධානිත ආකාරය නැවත පරීක්ෂා කිරීමෙන් එම කරුණ වටහා ගත හැකිය. බාතියානු විශ්වයක් තුළ ඡායාරූපශිල්පියාගේ භාවයන් ඡායරූපයේ රාමුව කෝණය ආලෝකකරණයේ සීමාවන් විසින් කැමරාක්‍රියාකරුගේ සීමාවන් සටහන් වීමක් ලෙසත් එය අත්කර ගන්නා මොහොත යනුම ඔහු විසින් ප්‍රේක්ෂකයා විශ්මයට පත් කරවන තත්වය ඝණීභූත කිරීමක් ලෙස ද වටහා ගත හැකිය. මේ ගැන වඩාත් නිරවුල් කියැවීමකට රෝලන්ඩ් බාත්ගේ කැමරා ලුසිඩා පොත් පිංච හදාරන්නට රචින්තට යෝජනා කරමි. මා මෙය මීට පෙරද කීප වතාවක් සිහිකැඳවා ඇති බැව් මතකය. ඡායාරූපකරණයේ සංඥා භාවිතාව ගැන ඔහු ලියූ දාර්ශනික ඉදිරිපත් කිරීම් විශ්මිතය. රසවත්ය.

මෙබඳු විසම්මුතික වියමන් විසින් කාලය සහ අවකාශයේ ඛණ්ඩාංක නිරීක්ෂකයාගේ අවිඥානය තුළ සංකේතීය සහ පරිකල්පනීය බොරෝමීය වළලු එකිනෙකින් ඇද දමන්නට තරම් සැහැසි වේ යැයි මට සිතේ. මන්ද යත් විදුලි කේබලයක් මත ගුවන් යානයක් දැකීම විදුලි කම්බියක් මත කපුටකු වසා සිටීමට වඩා වෙනස් සංඥා අප තුළ ගොඩනගන බැවිනි. එබඳු ඡායාරූපයක් අපව එහි ත්‍රිමාන අවකාශය නැවත මනස තුළ ගොඩනංවා එහි කාල අවකාශීය සැකැස්ම මනසින් චිත්‍රණය කර මනස් පරීක්ෂණයකට [thought experiment] යොමු කරවයි. එම පරීක්ෂාව අවිඥානිකව සිදු වන තරමටම අප මේ ඡායාරූප විෂය වෙත හීලෑ කිරීමට රචින්තගේ මෙබඳු උත්සාහයන් නිරන්තරයෙන් ඵලදායි වන බැව් මගේ වැටහීමයි.

සචී said...

රචියෝ...!!!!!!









වචන නැහැ බං...!!!

Rachintha Jayawardhana said...

ස්තූතියි සද්දයක් දාලා ගියාට. ඒක මගේ ආතල් එක. මේක මේ තරම් සුන්දර විදිහට උඹලට දිරවීම ගැනත් මට අප්‍රමාණ සතුටුයි! ඒ වගේම ඩෝසන් අයියගේ විචාරය පිළිබඳවත්, ලබා දීපු මූලාශ්‍රයන් සම්බන්ධවත්, නොතේරුණු සමහරක් දේ සමග සෙවීමට ඇති කල උනන්දුවටත් බොහෝමත්ම ස්තූතියි!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!