"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, February 10, 2011

බිසී වීමම . . .

කොයියෝගේ මිනිත්තු එකොලහ අවසන් අඩියට පැමිණ  ඇත. කොට්ටය ඇඳ විට්ටමෙන් උස්ව තබාගෙන අවසන් පිටු දෙකද කියවා හමාර කලෙමි. වෙනදා පුරුදු පරිදි පොත පසෙක තබා සරම ලිහුවද; සිතක් නැත. එයට සිතක් නැත. ඒ පොත නිසාදැයි නොදනිමි. නමුදු මට ගැහැනුන් අප්‍රිය වී නැති බව පමණක් දනිමි. ලොවටම තිබූ එකම එළියද නිවා සිරුර ඇඳෙහි මුදා හලෙමි. හොඳ හුස්ම උගුරු තුනක් නහයෙන් ගිලගත් පසු සිරුර තුල වූ සියලු ජීවී අංශු ඇඳට ලම්බකව සිරුරේ අඩියට වැටෙනු දැණිනි. ඒ ආතල් එක තුල මම බිසී වීමි. එම මොහොත තුල දුරකතනය නාද වීම මට කරදරයකි. දොරට තට්ටු වීම වදයකි. විදුලි විසංදිය මල වදයකි. පැහැදිලි කලහොත් අනෙක් පසට හැරීමටත් නොහැකි තරමට ඒ ආතල් එක තුල මා බිසී වී ඇත.

පසු දින ඉරිදාවකි මා උදෑසන ඇහැරී ඇත. පාන්දර වැඩි බවක් නොදැනීමම දවසට සුබ ලකුණකි. සුපුරුදු ක්‍රියාව ලෙස කැමරාව සුවෙන්දැයි බැලීමි. අතට ගෙන සකසා එහි සුවඳ බැලීමි. පෙර දින වූ සුවඳම එහි ඉතිරිය. මිදුලේ ගහක් කොලක් නෑරම මතකයට ඇල්ලුවෙමි. කාලය ගෙවීම සහ ලෝකය කැරකීම හේතු ගෙන  සෑම රූපයක්ම අනිකට වෙනස්ය. රූපයකට රූපයක් වෙනස් වීමට තවත් උප හේතුද බලපායි. අත් වෙව්ලීම, සුළඟ සහ සෙවනැලි පවා රූපයකට රූපයක් සම නොවීමට උඩ ගෙඩි දෙයි.
[මේ එක් තත්පරයක් තුල ගත් ඡායාරූප හතරකි(4fps).]

රූපගත භාවනාවක් මා ගිලී ඇත. විටෙක ISO සකසයි. විටෙක ෂටර වේගය බෙහෙවින් අඩු කරයි. කැමරාව තුල විකාර රූප චිත්‍රණය කරයි. එළිමහනක කැමරා භාවනාවක බිසී වී සිටින මට වැස්ස දේව ශාපයකි. තේකක් ගෙන ඉදිරියට එන අම්මා, කැමරාවක් තුල රාජ්‍යයක් තනා සිටින මට පහර එල්ල කරන පරදේසක්ක්කාරයෙකි.

පරිසරයෙන් මුදාහරින දැඩි සීතල හේතුවෙන් රස්නයක දැඩි අවශ්‍යතාවක් නැගින. සිතද ගතද ඉල්ලන්නේ ඇයයි. එහෙත් ඈ දැකීම අපහසුය. රුපියල් විසිපහක දුර ගෙවා යා යුතුය. මා පියන්ද රැකවල්ලා සිටී. සිත් කොනට අනියමී තට්ටු කරන්නට විය. දින දෙකකට පෙර හිතමිතුරු සෙට්වීමක අවශේෂයක් පොත් රාක්කය පිටුපස හිඳ බැලුම් හෙලන්නට විය.
කඩෙන් වැඩමවූ ස්ප්‍රයිට් බාගයක් සමග එකමුතුවූ තවත් ජාති කිහිපයක් මා බිසී කරමින් ඇත. ගිටාර් බඳට වදින තට්ටුවෙන් නැගෙන සිහින් තාලයක් සමග සිරුරද මනසද එක්තැන් කොට සමරන මහා නිදහසට මා වහල් වී සිටිමි. ඇගේ දෙ අතට මැදිව ඇගේ හෘද සඵන්දනය විඳීමේ ආහ්ලාදය මනසේ රූපගත වෙමින් ඇත. මෙකල බාධා නොවිය යුතුයැ. මෙකල බාධා නොකල යුතුයැ. කියවා ඇති ලෙස විඳීම් ඉන්ද්‍රජාලිකය. ඉන්ද්‍රජාලයේ ගිලී ඇති විට කූද්දනු ලැබීම කුපිත කරවයි. මා බිසී වීමට විධි සොයමින් ඇත.

ආදරය සුන්දර වරදක් නොවේ. එය ආශ්වාදනීයය. හේ අත්දැකීම් ගෙන එයි. පෝෂණය කරයි. සතුට දැන්වීමේ උපරිමය මවයි. වැටීම් බිඳීම් පාඩම් කියා දෙයි. ආදරයේ මුල් පාඩම් ජීවිතයේ ඉදිරිය තනයි. ආදරය විඳවිය යුතු නොහේ. ආදරයේ චැප්ටරයන් තුල එකිනෙකට වෙනස් සිහිවටන ඉතිරි කරයි. නාම පද, ක්‍රියාපද, විශේෂණ පද බොහෝමයකි. මා ආදරය නැති කල එය හඹා යයි. ආදරය මත ඇති ගැලපීම් සොයා ඒ සඳහා ජීවත් වෙයි. ආදරයේ සොඳුරුතම අවධියක් මා ගෙවමින් හිඳිමි. ඈ මැණික් සොයයි. විටෙක උණ බලයි. නොයෙකුත් සුරතල් වීම් මැද අප එකිනෙකා කෙරෙහි හැඳිනිමින් සිටිමු. ආදරය තුල අනාගතය, රතිය සහ සමාජය; සකසමින්, පාලනය කරමින් සහ හැඳිනගනිමින් සිටිමු. ඈ හා එක්ව ගොඩනගන ආලය තුල මා බිසී වී ඇත. කෝපය උලුප්පන ඕපාදූප කටවල් මැද අප අපේ ආලයේ කාර්‍යබහුලය. බාධා නොකරනු මැන.

ගීතය. එය රුධිරගතව ඇත. සිතට එකඟ අදහසකට රිද්මය දෙන කනට මිහිරි නද මට අතිශය ගීතවත්ය. විරහවද රසයකි. පෙර කිවූ පරිදි අත්දැකීමකි. ගීත, අත්දැකීම් අවුස්සයි. නෙත් අයවයි. තොල් වියලි කරයි.

  • උණුහුම මත හෙමිහිට අඩි තිය තිය.. තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද..
  • පෙනෙයි සඳේ සේයා සඳ පායා.. හද අරං ගියා මගේ රත්තරං මායා..
  • රතු හැට්ටේ පළල් මදි දෙතන පෙනෙන්නට.. තිසරුන් ආසයි මුහුන බලන්නට..


මේ සිරිලක වෙනස් තාලවලට, වෙනස් කාණ්ඩ ඔස්සේ එකම වස්තුවක් පිලිබඳ තෙවිදියකට නොහොත් රාමු තුනකින් ගැයෙන ගී තුනකි. ඔබට මේ මත බිසී විය නොහැකිද?

බිසී වීමෙහි අග්‍රඵලය මුදල් හෝ දහදියම නොවේ. . .

ඒ මාගේ මතයම පමණකි. වෙනස් අදහස් ඇත්නම් දක්වන්න. ජය!