මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Wednesday, September 29, 2010

පිරුනු වසර


කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.

මම තාමත් මතක් කරනවා. . .

මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි

අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි

කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි

මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි

සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි

රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි

විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි

පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි

කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .

ඒ සිම්පල් විදිහට

ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට

සත්තුන්ට තිබිච්ච ආදරේට

පොත් වලට තිබ්බ ආසාවට

පෙට්‍රල් සුවඳට ආසාවට

සල්ලි වියදම් කරන විදිහට

අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට

මට කතා කරපු "අමු" විදිහට

මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට

ඒ ඉවසීමට

මගේ කඳුළු යට දාපු විදිහට

මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.

තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ

Sunday, September 26, 2010

සරීර ශුවථා

මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.

මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.

සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.

වේල් තුනක් කෑ පසු තව දෙකක්            ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු            ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු     ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම          වෙතී

මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.

ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී.  ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.

මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.

Friday, August 27, 2010

ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි. . .

වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.

මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.

ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.

ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!

ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.

ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.

මා: මේ !
ඈ: ම්ම්ම්. . .

මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?

මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!

ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.

ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.

ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!

ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!

ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?

ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!

ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...

ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!

ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!

ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.

ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.

ඈ: ඉතින් මොකද්ද? කියන්න!

සතුටින් නිමි.

Friday, August 6, 2010

මදහස

සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.

මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්

අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.

මුදලා. . ලී..

හ්ම්

ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.

**********************************************************************************

අයියේ ඉතුරු

දෙන්නං මල්ලී

ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.

කේ හත්සියපනහ තියේද?

හ්ම්ම්

කීයද ?

හයාමාරක්

යකෝ උස්සපුවැයේ ගනං.

පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.

අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!

**********************************************************************************


කොළඹ කැම්පස් බහින්ඩා. . . !

සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.

එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.

පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ

**********************************************************************************

ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !


ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.

බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!

බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.

**********************************************************************************


කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.

බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.

හහ්. . .

මට මදහසක් නැගිනි!

Tuesday, August 3, 2010

මන්දිරය


වැසිකිලිය
Toilet, Wash Room, Bath Room
තුනම නුඹ මට

පුංචිම කාලේ "රිලා ගැටය"
පස්සේ පස්සේ "මඩොල් දූව"
ටිකකට කලින් "බත්තලංගුණ්ඩුව"
උඹ මට
ලියන්නෝ තොගයක් මුනගස්වලා ඇති

නිදහසේ මොනවාහරි හපන්න
බියර් බෝතලයක් එක්ක
මගේ අතින් ලියවෙච්ච දේවල්
ගොඩක්ම උඹ ඇතුලෙදි ඉපදිච්චා

වතුර බිංදු හරිහරියට
ටයිල් වල හැපිච්ච සද්දේ
අඩු කරන්නැති
හිතේ කේන්තිය වගේම දුක

ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මිනිස්සු
පහත් හඬින් කියන
"ටොයිලට් එක"
මන්දිරයක් උඹ මට

Thursday, July 29, 2010

කොල ඇපල්, වැගන් පාක් සහ මහේල

කොල ඇපල්, මා ඉදුනු මී අඹයකට පසු වැඩියෙන්ම රස විඳින පලතුරයි.එහෙත් පහසුවෙන් ගන්නා ප්‍රනීතම පලතුර ලෙස කොල ඇපල් මගේ තීරුවේ ඉහලින්ම සිටී.මා ඇපල් ගෙඩියට හුරු වූයේ Apple a day keep the doctor away නිසා නොවේ.කොපමන ඇපල් කෑවද මා මසකට වරක් වත් බඩේ අමාරුව හේතු කොටගෙන දොස්තර හමු වෙමි.

ඇපල් ගෙඩියට මා ෂැන්ඩි ලෙස භාවිත කරන්නේ වැගන් පාක් ය.වැගන් පාක් වනාහී මා අතරැඳි මුවට දිවෙන ඇපලයේ සැර බාල කරන ඔසුවකි.කනට ඔබාගෙන සිටින ඇබ දෙක වැගන් පාක් සංගීතය එහි පුරවාලයි.එය කෙතරම් මිහිරිදැයි විඳින්නට නම් ඔබ අත කොල ඇපල් ගෙඩියක්ද, ඔබ ඉදිරිපිට මහේල ක්‍රීඩා කරමින් සිටිය යුතුය.වැගන් පාක් මා ජීවත් වන නො එසේනම් මා ආඩම්බරයෙන් ජීවත් වන මොරටු පුතෙකුගේ සහ ඔහු මිතුරු කැලකගේ වැඩකි.පාසල් ජීවිතය අවසන් කාලයේ මා අතිශය රොක් පිස්සෙකු විය.නොනැවතී උඩ බිම පැද්දුනු හිස නිසොල්මන් කලේ වැගන් පාක් හී බුද්ධි ඩිමෙල්ය.ඔහුට මෙන්ම ඔවුනට නීති නැත.නිශ්චිත ප්‍රක්ශක පිරිසක් නැත.හොඳ පැණි බේරෙන වචන නැත.ඇත්තේ හැකියාව සහ විඳීම් පමනකි.රොක් ඇන්ඩ් රෝල්/බ්ලූස් මා මොලය තුල පිරී ඇත.සින්දුවක් මවුත් ඕගනයෙන් සහ රිදම් එකට වදින බොක්ස් ගිටාරයෙන් කෙලින්නට බුද්ධිට හැක.තවත් ගිටාර, ඕගන් ඩ්‍රම්ස් සහ බේස් එක්වූ විට අපිත් දැන් ඇත්ත වෙනුවෙන් ඇත්ත හොයාගෙන ඇත්තට ජීවත් වනවා යන හැඟීම ඔබටද ඉපදිය හැක.
Now I walking down the street
යාලුවෙක්වත් නැද්ද මා ලඟ...
ඔන්න ඔහොම යනකොට
ලොල්ලෙක් දැම්මා සීන් එක
මං දුන්නා හක්කට...  
කැරකිලා බිමට වැටෙන්න
 ඔවුනට භාෂා ප්‍රශ්නයක් නැත. දෙමල පුලුවන් වූ කලෙක උන් දෙමලෙන්ද සින්දු කියනු ඇත.උන් රැඩිකල් නැත.නමුත් සිම්පල්ය.මා ඒ වචන ඒ විඳීම වලට ආසා වූයේ මා චාල්ස් බුකොව්ස්කි ගේ තැපල් කන්තෝරුව ප්‍රිය කරන්නෙක් නිසාවෙනි."වැගන් පාක්" කරත්ත නැවතුමේ නොනැවතී ඉදිරියටම යනු ඇත.බලන්න වැගන් පාක්!

අපි ඉන්නේ ලංකාවේ මොරටුව අපි ජයගත් නගරේ!
ජීවිතේ සුන්දරයි කියන්නේ ටීවී එකේ
අපේ මේ ජීවිතේ නෑ කිසිම හීනයක් දැක්කේ
සිහිනයෙනුත් අපි දුටුවේ සූස්තියක ආතල් එකනේ!
 මට වැගන් පාක් විඳිය හැක.මොරටුවේ අපට ඇති ආඩම්බරය, දේශපාලනය, ඇල්කොහොල් ගංජා සබ්ජෙක්ට් නොයෙකුත් දෙයින් වැගන් පාක් අප වින්දනය කරයි.නොකියා යැයි බ්‍රෑන්ඩ් කර ඇති ඇබ දෙකෙන් මාගේ කනට ඇතුල් වන වැගන් පාක්, මුවෙහි රැඳි කොල ඇපලය ඩයලූට් කරයි.මට ඉතිරිව ඇත්තේ බයිට් එකට අත පෙවීම පමනි.රිමෝටයේ අංක නමය එබූ විගස "සං" ගා පත්තු වූයේ වූයේ මාගේ බයිට් එකයි.මහේල ජයවර්ධන.මාද තවත් එක් ජයවර්ධනයෙකූ වීම පිළිබඳ ආඩම්බරයක් මාහට ඇති කරවයි.මහේල මෙන්ම මාද නාලන්දාව පාසල කොට ගත්හ.මහේල මෙන්ම මාගේද බාල සහෝදරයා කුඩා කලම මිය ගියේය.නමුත් මහේල මෙන් මට ක්‍රිකට කෙලිය නොහැක.කොටින්ම බ්‍රැඩ්මන් ටවත් මහේල මෙන් ක්‍රිකට් කෙලිය නොහැක.වාර්තා වලින් මට තඹයක වැඩක් නැත.ඔහු බිංදුවට ගියද දැවී යන්නේ ක්ලාස් එක තබාගෙනය.ෆොටෝ ගැහිල්ලට කැසිල්ල ඇත්තෙකු ලෙස මා දන්නා කරුණක් වෙයි.ඒ මාහට ෆොටෝ එකක් ගැසීමට හොඳම හැඩය ලබා දෙන්නේ මහේල ජයවර්ධන හෝ ජිම් කේරි බවයි.

මහේල ඉහල ඉමවල් කරා යනවාට මා කැමති නැත.ඒ මගේ බයිට් එක පල් වෙනවාට මා අකමැති හෙයිනි.ඔහුගේ ලකුනු පනහක් මගේ Don, මොරටුව, Cohomothe(Flat), කොහෙද යන්නේ මල්ලේ පොල් කියන වැගන් පාක් සින්දු හතරකට සහ කොල ඇපල් දෙකකට හොඳටම සෑහේ.

Friday, July 23, 2010

කුජීතයිද මන්දා?

කාලෙකින් පස්සේ ලියලා දාන්න හිතපු පෝස්ට් එකත් පහු කරලා දාලා ලියන්න හිතුනා අපි ගැන.මේක පහු කලොත් මේ තරම් ආවේගශීලීව නොලියවෙයි කියලා හිතිච්ච නිසා මේක දැන් ලියන්න තීරණය කලා.දැනටමත් පහු වෙලාද මන්දා.

ඒත් පලවෙනි දේ සමාජ ජාල ඇතුලේ ජීවිතය සාමන්‍ය ජීවිතයත් එක්ක පටලවගන්න එපා.කොටින්ම ෆේස් බුක්! ලංකාවේ මිනිස්සු පලු පැලෙන්න බැන බැන ඒත් හැමදාම ලොග් වෙන සමාජ ජාල අඩවියක්! අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ එකතු කරගන්න යාලුවෝ වෙන ක්‍රම ගොඩක් තියෙනව. ඒවා හොඳ පැත්තට විතරක් තියාගන්න.අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ උනේ බ්ලොග් හින්දා වෙන්න පුලුවන්, අපේ දේශපාලනික දැක්ම අනුව වෙන්නත් පුලුවන්, අපි ජීවත් වෙන පැති, අපි එක තැනක ඉගෙන ගත්තු නිසා, අපි ලංකාවේ නිසා, අපිට කවි ලියන්න පුලුවන් නිසා, අපිට ඉගෙන ගන්න පුලුවන් නිසා, අපිට පින්තූර ගන්න පුලුවන් නිසා, අපි සෙට් එක රොක් මියුසික් අහන නිසා, අපි රගර් ගහන නිසා, අපි ක්‍රිකට් ගහන නිසා, අපි ෆිල්ම් බලන නිසා මේ ඕනම හේතුවක් වෙන්න පුලුවන්.ඒත් අපි හතුරෝ විදිහට වෙන් වෙන්න මේ දේවල් කවදාවත් පාවිච්චි කරන්නෑපා.මම මහින්ද රාජපක්ෂගේය..., මම රනිල් වික්‍රමසිංහගේය, මම නාලන්දේය උඹ රෝයල්ය, උඹ දෙමලෙක් උනාට මම හොඳ සිංහල යි කියන හේතු හිතේ තියෙනවනං ඒවා මරලා දාන්න.මේක ලියන්න උනේ ඊයේ මගේ ස්ටේටස් එහෙක වෙච්ච බැන ගැනීමක් නිසා.මගේ ස්ටේටස් ඇතුලේ ඕන තරං මගේ යාලුවෝ මට බනිනවා.මමත් උන්ට බනිනවා.ඒවා එච්චරයි මූනට මුනගැහුනම හෝ ආපහු චැට් එහෙක සෙට් උනාම ඒ ඔක්කොම ඉවරයි කියලා අපි අපිම දන්නවා.අපි හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු! ඒ නිසා අපි වෙනුවෙන් අපි ඉන්න ඕන කියන සත්‍ය පිලිගන්න හැමතිස්සෙම.මම මගේ හොඳම යාලුවොන්ට හුත්තිගේ පුතා කියලා බැනලා තියෙනවා.ඒත් ඒ නිමේශයකින් ඒවා අමතකයි.මම සමුගැනීමකදි ඒ යාලුවගෙම අම්මට වඳිනකොට මගේ හිතින්ම ඒ අම්මගෙන් සමාව ඉල්ලනවා.ඒකයි මිනිස්සුන්ගේ හැටි! (මෙතනට කුණුහරුපයක් දැම්මේ ඒක නොදැම්මොත් මේ පෝස්ට් එක අසම්පූර්ණ නිසා.සාධාරණ හේතුවක් ඇතුව.)ආවේග කියන දේවල් ආ වේගයෙන්ම යනවා කියන එක මිනිස්සු දැනගන්න ඕන.

අනිත් කාරණේ යාලුවෝ ආශ්‍රය කරද්දි.පලවෙනි කාරණේ තමුන්ගේ ඇත්ත ජීවිතේ තමුන් එක්ක එකට ඉන්න යාලුවෝ විශ්වාස කරන්න.සයිබරයේ මිතුරුකමුත් ඒ තත්වෙට පෙරලගන්න.ඒ මිතුරන්ගේ තත්වෙට ගන්න ඕන සයිබර් මිතුරුකම් තෝරාගන්න.මිතුරුකම ගොඩනැගිච්ච විදිහ බල්ලට දාන්න.මිතුරුකම විතරක් තද කරගන්න.උඩට එන්න ගේමක් දෙන හැම යාලුවෙක්ටම දිරියක් දෙන්න.තමුන් ඒ යාලුවට වඩා පහලින් හිටියත් ඒ උදව්ව ඒ විදිහටම දෙන්න.තමුන්ගේ යාලුවෝ දියුණු වෙනකොට ඒක ගැන මූනට නොකිව්වත් සන්තෝශ වෙන්න.නින්දට කලින් ඒ දේවල් ගැනත් හිතන්න.මටත් ඉන්නවා අනන්ත අප්‍රමාණ හැකියාවන් තියෙන යාලුවෝ.නැෂනල් ටීම් එකට ගහන්න ඉන්න යාලුවෝ, ප්‍රෝග්‍රැමින් හොඳටම පුලුවන් යාලුවෝ, උගන්නන්න පුලුවන් යාලුවෝ, ඉගෙනගන්න පුලුවන් යාලුවෝ, කවි ලියන්න පුලුවන් යාලුවෝ, ලස්සන ෆොටෝ ගන්න පුලුවන් යාලුවෝ මටත් අනන්ත අප්‍රමාණව ඉන්නවා.මම ඇත්තටම ආසයි මගේ ෆොටෝග්‍රැෆි ලෝකේ වීරයා පිට එකෙක් නොවී අංජා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ මගේ ක්‍රිකට් ලෝකේ වීරයා පිට එකෙක් නොවී ගයියා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ අයි.ටී ලෝකේ වීරයා පිට එකෙක් නොවී පහනා වෙනවනං. මම ඇත්තටම ආසයි මගේ සාහිත්‍ය ලෝකේ වීරයා පිට එකෙක් නොවී සඳුනා වෙනවනං.හැමතිස්සෙම තමුන්ගේ ලඟ යාලුවෙක්ව තමුන්ගේ රෝල් මොඩ්ල් එක කරගන්න උත්සහ කරන්න.ඒක තමුන්ටත් ඉස්සරහට යන්න හොඳ උත්සහයක් වෙයි.ඉස්සරහට යන්න බැරි උනත් "ඒ මගේ යාලුවෙක්" කියලා ගොත ගහන්නේ නැතුව පිරිසිදු හිතකින් කියන්න පුලුවන් වෙයි.

ජීවිතේට ඔප්ෂන්ස් තියාගන්න.තමුන්ට එක දෙයක් හොඳටම බැරි උනත් ජීවිතේ ගෙනියන්න පුලුවන් විදිහට වෙනින් දෙයක් හරි හොයාගන්න.උදාහරණයක් විදිහට මම කොච්චර අයි.ටී ඉගෙන ගත්තත් මට අයි.ටී දිරවන්නේ නැත්තන් මම දැනගන්න ඕන මට දිරවන පැත්තකට හැරෙන්න.එහෙම හැරෙන එක ලේසි නෑ.ඒ නිසා ජීවිතේ මුල ඉඳන්ම ඔප්ෂන්ස් තියාගන්න.බැරි මරගාතෙන්වත් මොනවා හරි පොඩි පොඩි දේවල් ලියන්න.කෑමක් හදන්න ඉගෙන ගන්න.මහන්න ඉගෙන ගන්න.ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න.ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න.අඩු තරමින් සින්දුවක් කියන්න, සෙල්ලමක් කරන්න, මැත්ස් පොතක් අරගෙන පොඩි එකෙක්ට අමාරු දේවල් කියාදෙන්න, කැඩිච්ච දෙයක් හදාගන්න පුරුදු වෙන්න.ඒක කවදාහරි තමුන් ජීවිතෙන් දිනවන්න මගපෙන්නයි.

ඒ වගේම කවදාවත්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා.මම දැකලා තියෙනවා සමහරු ෆේස්බුක් එකේ Political View එකට දාන්නේ I Hate Politics කියලා.ඒක හරිම ගොන් කතාවක්.ලංකාවේ දේශපාලනය කොච්චර මඩ ගොහොරුවක් උනත්, ඒක නැතුව සතෙකුටවත් ජීවත් වෙන්න බෑ.කොටින්ම ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි නිදහසේ රමණයේ යෙදෙන්නත් දේශපාලනය බලපානවා.

ආදරය ගැනත් එක වැදගත් පේලියක් කියන්න ඕන. සියයට සීයක විශ්වාසයක් තියෙනවනං විතරක් ආදරය කරන්න.ඒක සියේට අනූ නමයක් වෙච්ච දවසට අතෑරලා දාන්න.මාව විශ්වාස කරන්න ආදරය කරන කෙනා ගැන විශ්වාසය සියේට අනූනමයක් වෙච්ච දවසටත් ඔබ ආදරය කරමින් සිටියොත් එදාට ඔබට හිත නිදහසෙන් නිදාගන්න බෑ!

අනිත් දේ සල්ලි! හැමතිස්සෙම අතට හම්බුවෙන රුපියලක පවා වටිනාකමක් තියන්න.මහ බැංකුව ඇතුලෙන් සල්ලි කොල එලියට එන්නේ මහ බැංකුවෙන් එලියේ මිනිස්සු තොගයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා.සමහරු මැරෙන්නේ සල්ලි නැති නිසා.නොහොත් දුප්පත් නිසා.ඒ වගේම තවත් සමහරු මැරෙන්නේ සල්ලි වැඩි නිසා.ඇඟ විකුනලා ගත්තත් සල්ලි.බිම තිබිලා ඇහින්දත් සල්ලි.ජීවිතය වගේම සල්ලිත් මැදුම් පිළිවෙතේම ගෙනියන්න.

"අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු" කියලා ආඩම්බර වෙන්න.සතුටු වෙන්න.ඒත් "පර ඉන්දියන්කාරයෝ" කියලා ගහගන්න යන්න එපා.අපි ඇමරිකාවට ජැමෙයිකාවට බනින්නේ නෑ.ඒ උන්ගේ මළල ක්‍රීඩකයෝ තරන් අපේ උන් දක්ෂ නැති නිසා.අපි ජපානෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් අපේ උන්ට නව නිර්මාණ බැරි නිසා.අපි බ්‍රසීලෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් හොඳට අපිට ෆුට්බෝල් බැරි නිසා.ඒත් අපි ඕස්ට්‍රේලියාවට බනිනවා.ඒ උන්ට ගේමක් දෙන්න තරන් හොඳ, ඒත් පරාද වෙයි කියලා බය ක්‍රිකට් ටීම් එකක් අපිට ඉන්න නිසා.අපි ෂේන් වෝන්ගේ දැකපු නැති අම්මට බනිනවා.ඒ අපේ මුරලිට ගේමට ඉන්නේ එයා නිසා.ඒකයි ඇත්ත! හුඟ දෙනෙක්ගේ හිත් ඇතුලේ කොන් වල පල් වෙවී තියෙන ඇත්ත.ඔබට උයන්න බැරිනං හැමදාම කඩෙන් ගෙනත් කන්න එපා.එක සතියක් එක දිගට නූඩ්ල්ස් තම්බගෙන කන්න.සතියකින් ඔබට උයන්න ඉගෙනගන්න හිතේවි!

අපි අපි හැමෝගෙම ජීවිතේ රහසින්වත් පවු කරලා ඇති.මමත් මගේ ජීවිතේ අනන්තවත් පව් කරලා තියෙනවා.මම විශ්වාස කරන්නේ නෑ දහස් වාරයක් කැළණි විහාරෙට ගියා කියලා ඒ පව් මැකේවි කියලා.ඒ වගේම මම විශ්වාස කරනවා මැරෙන්න මොහොතකට කලින් හරි ඕනම මිනිහෙක්ට තමුන්ගේ ජීවිතේ තමුන් කරපු හොඳ නොහොඳ මතක් වෙනවා.මම මැරෙන්න මොහොතකට කලින් මගේ ඇස් ඉස්සරහා මැවෙන මම කරපු දරුණුම පව් පහ මම තෝරලා ඉවරයි.මට ඒක ගැන බයකුත් නැතුවම නෙවෙයි.ඒත් මගේ ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට ඊට වඩා ලොකු පව් නොකර ඉන්නත් පුලුවන් තරමක් පිං කරන්නත්.තමුන් පිනක් කරනකොට ඒක තමුන්ගේ හිතට සතුටු හිතෙන පිනක් කරගන්න.ථූපාරාමෙට ආලෝක පූජා කරන්න රුපියල් පන්සීයක් දෙනවට වඩා මම ඇත්තට සතුටු වෙනවා ගොළුමඩම හන්දියේ සපත්තු මහන අන්කල් ට බත් එකක් අරන් දෙන්න පුලුවන්නන්.ඔබත් ආගම ප්‍රශ්නයක් කරගන්න එපා! කොච්චිකඩේ පල්ලියෙදි තමන්ගේ උසට ඉටි පන්දමක් පත්තු කරනවට වඩා තමුන් දන්න දෙයක් කාටහරි උගන්නන්න.අපි මැරුනම අලුත් ජීවිතයක් ලැබෙනවනං ඒ ලැබෙන තෙක් අපි කතාකරන්නේ සිංහලෙන් නොවෙන්න පුලුවන්.මොකද සුද්දොත් මැරෙන නිසා.වගේම මැරුනම කොහෙත් එක නිසා.අපි මැරුනම අපිට තියෙන්නේ සිතුවිල්ලක් විතරක් වෙන්න පුලුවන්.ඒ නිසා ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා.විඳව විඳව ජීවත් නොවී. . . විඳ විඳ ජීවත් වෙන්න.ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නං ඔබ මත් පැන් පානය හෝ ඌරු මස් අනුභවය ගැන දෙගිඩියාවකින් ඉන්නවානං හිතන්න කුකුලත් සතෙක් නොවෙයිද කියලා.ඉස්ලාම් ජාතිකයෙක් විදිහට අන්තිම මොහොතේ කලීමාව නිවැරදිව කියන්න පුලුවන් වෙන්න කියලා පතන්න.ඒක ඔබේ හිතට දෙන්න පුලුවන් උපරිම ශාන්තිය ලඟා කර දේවි.ඔබ මස් ජාති වලට බැන බැන මාලු ගිලිනවානං හිතන්න මාලුත් ජීවියෝ නෙවෙයිද කියලා.පවු පිං ආගම් අනුව බලපාන්නේ නෑ.ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා.ඔබ හිතට එකඟව සතුටෙන් කරපු දේකින් තවකෙක් සතුටු වෙනවානං ඒක පිනක්.

මගේ අතින් වෙනමම ආකාරයක ලිපියක් ලියවිච්ච එක ගැන මට සතුටුයි.ඒ සිතිවිල්ල හරි එකක්ද නැද්ද කියන එක මට දැනගන්න උවමනාවක් නෑ.මොකද හරි උනත් නැතත් මේ මගේ හිතට එකඟ විදිහ.ඒක මැරෙනකම්ම එහෙමයි.මේකට කමෙන්ට් කරත් නොකරත් මට එකයි.මම දවස තිස්සේ ඇවිත් කමෙන්ට් ගනන් කර කර විඳවන්නේ නැති නිසා.මට ඕගොල්ලෝ මේක කියෙව්වොත් ඇති.මොකද වැරදි දේවල් අනන්ත තිබුනත් එක හොඳ දෙයක් හරි කාගේ හරි ජීවිතේකට ආවොත් ඒක මට පිනක් නිසා! එතනත් ආත්මාර්ථකාමීත්වය. ජය!