මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Monday, November 22, 2010

දේශීයත්වය, දේසීයත්වය, දේෂිඃයත්වය

චොකලට් බිස්කට් මැද්දට හෙයා ජෙල් යොදා ආහාරයට ගෙන කටෙහි ඉතිරි වූ ජෙල් තට්ටු කොරෙක්ස් ඩී වලින් බඩ තුලට සෝදා හැර අතුරුපසට හාන්ස් ටිකක් තොල් වැටියේ තබාගෙන දේශානුරාගය සිත්හී උපදවා කියවනු මැනවි!


හවස හයටද පාන්දරටද පිරිත් අහන, කොටට ඇඳගත්තු බඩු උදේ පාන්දරට ටීවී එකේ ආයුභෝවණ් කියන දේශීයත්වයෙන් පිරිච්ච රටක කඩයකට වැද කන්නට ඉඹුල් කිරිබත්, වැලි තලප, අග්ගලා සෙවූ කලෙක. . . කොටුවට රුපියල් තිහක් ගාල්ල පැත්තට දුරින් තියෙන කඩවලත් පිරී තිබුනේ ඔම්ලට් බන් සහ චිකන් පේස්ට්‍රිය. මා පලමු වරට ඉඹුල් කිරිබත් කෑවේ මාගේ ගම වෙච්ච දෙනියායේදීය. සීනිසම්බෝලද, පැනි පොල්ද දමා දෙවිදියකට අපේ නැන්දා විසින් සාදා තිබූ ඒවා තරම් තවත් කෑමක් එදා මට නොමැති විය. එසේ වූයේ මා දේශීයත්වය අගය කරන්නෙකු නොව සිතට සරිලන්න අගයන්නෙකු බැවිනි. ඕනෑම මිනිසෙකුට තම දේශය සහ ඒ දේශීයත්ව පිලිබඳ ආඩම්බරයක් තිබිය යුතු නමුදු එය හත්පොලේ ගාගත යුතු නැත. තමන්ගේ අවශ්‍යතාවයට සරිලන විකල්ප දේශීයව ගොඩ නැගී ඇත්නම් යමෙකු ඒ කරා යා යුතු නමුදු දේශීයත්වය කරේ තබාගෙන වලේ වැටිය යුතු නැත.

කොන්ඩම් උදාහරණයක් වශයෙන් ගත්කල, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ආරක්ෂක උපත් පාලන ක්‍රමයක් නොමැතිනම් ඒ සඳහා අප විදේශීය නිෂ්පාදිතයක් භාවිතා කල යුතුය. මන්දයත් දේශීය නිෂ්පාදන කර ගසා ඒ තුල ඒඩ්ස් පිළිලයක් කරගත නොහැකි නිසාවෙනි. නොමැතිනම් අවුරුදු විස්සේදී ළමයෙකුත් සමග අවුරුදු තිහක ගැහැනියක් බාර ගත නොහැකි බැවිනි. මා කොන්ඩම් උදාහරණයකට පමණක් ගෙනහැර පෑ බැවින්, ලංකාවේ නිෂ්පාදිත කොන්ඩම් ගැන අදහස් තීරුවේ නිෂ්ඵල දේශන දී පිම්පියෙකු තත්වයට ඇද නොවැටීමට වග බලාගන්න.

එකල චමින්ද වාස් බෝලය දැමීමට පෙර හත් අට වරක් කලිසමේ බෝලය උලන බැවින්, මමද හත අට වසරේ ක්‍රිකට් ගසද්දී ටෙනිස් බෝලය තුන් හතර වරක් උලා එල්ල කල අතර එහෙ දෝලනයක් නොතිබිනි. එහෙත් අතිවිශිෂ්ඨ චමින්ද වාස් ආකාරයෙන් බෝල දැම්මා යැයි සිතා මා වාස් උස්මූර්තියට පත්විය. දැනුදු ශ්‍රී ලාංකීය රැප් කලාවේ සිදුවන්නේ එය වන අතර, අන්තර්ජාතික මට්ටමේ රැප් සංගීතකරුවන් අඳින පලඳින ආකාරයට ඇඳ, ඔවුන් ආකාරයට ඇඟිලි සකසා මෙලෝ රහක් නැති කුණුහරුප තොගයක් ඉරාජ් ප්‍රමුඛ ලංකාවේ අනෙකුත් සිපයි කණ්ඩායම් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමින් සිටියි.

එයට වරදක් නොකිව හැක්කේ මේ ගොලහන්ත ජාතිය සොයන්නේ වින්දනයක් නොව ඇමරිකන් උස්මූර්තියට පත්වීමක් පමණක් බැවිනි. උන්ට ඇමරිකාවට සාපේක්ෂව දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට උවමනාවක් නැත.


එසේ ගත්කල සලකා බැලිය යුතු දේශීයත්ව ඉදිම්මවීම් තවත් ඇත.
  • කැසිනෝ සූදුව නීතිගත වන රටේ, මළ ගෙවල් වල හීනියට තෙල් අංශයකුත් එක්ක යන බූරු පැදුර නීත්‍යානුකූල විය යුතුය.
  • A. සුනීත හිමි, B. සෝභිත හිමි සමග එක්ව ඇබ්බැහිය නවත්වන, කොටලා පැනපු එවුන් ගෙන්වන, කැඩිච්ච පෙට්ටි රීකන්ඩිෂන් කරන රටක මදක් පාවිච්චියට අබිං පොට්ද, මසාජ් සෙන්ටර් ද, ග්‍රාම සේවා වසමකට එක බැගින් ඉදි කල යුතුය.
  • විශේෂ අවස්තාවකදී පොඩ්ඩක් ගැනීම අනුමත කරන පුරාවිද්‍යා සුවාමීන් ඉන්න රටක වෙල් ෆැන්ටා නොහොත් සුදුවා නීතිගත විය යුතුය.
  • පෙට්ටි කඩාගත් සුද්දියන්ගේ පෙට්ටි ආපහු කැඩේයැයි බියෙන් ගාල්ලෙන් පෙම්වතුන් දුරු කරන උරුමයක් ඇති රටක, පත්තිනි විදෙශිකයන්ට නොපෙනෙන්ට පෙම්වතුන්ට නොමිලේ රිංගන්න තැන් පිහිටුවිය යුතුය.
සංස්කෘතික ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!
  • පත්තරේට මූනු දමා දේශීය වෙසඟනන් අල්ලන රටක , කොටු කාමරයක තනිව රැය ගෙවන පිරිමියෙකුට ස්වයං වින්දනය සඳහා නෝටි ඇමරිකාවට සරිලන දේශීය විකල්පයක් සාදා දෙනු මැනවි.
  • Iraj with ILL Noize සහ Fill-Tලට Fansලා වැඩිවන යුගයක "ස" ප්‍රසංගයට, "ශ්වේත රාත්‍රිය" ටද බලෙන් හෝ රසික පිරිසක් අද්දවා දෙනු මැනවි.
  • ලණුව පැන්නූ විට හෝ පොලු කැඩුනු විට ගජගා වයා කස්තිරම් අල්ලවන වෙස් Cheer Leadersලා වෙනුවට, පනින රිලව් කිහිප දෙනෙකු වත් ආදේශ කරනු මැනවි.

Tuesday, November 9, 2010

මට තනියක්! දැනෙනවා. . .

අමරදේවයන්ගේ මා වවුලන් ගීතය දෙකන් තුල දෙදරයි. තවමත් මා බොරැල්ලෙන් නැගි ගමන්මය. අතක් දිගුකරන් චම්ලි අයියා එහෙමත් නැත්තන් එකසිය පනස් හතරේ හිතවත් කොන්දයියා බෙරිහන් දෙනු පෙනේ. එහෙත් බෙරිහන් දෙනු නො ඇසේ. දෙකන් මෙන්ම සිතද මා වවුලන් හී අරුතට යොමුවී ඇත. එය ලීවේ කවුදැයි මා අසා නැත. අසා තිබුනද මේ වෙලාවේ මතක් වන්නේද නැත. එය පෞද්ගලික අත්දැකීමක් නම් අවම වශයෙන් රචකයාට ඈතකට ගොස් පාළුව දැනෙන්නට සහෝදරයෙකු හිඳ ඇත. එහෙමකටවත් මොකෙක්වත් නැති මම එය මෙතරම් විඳින්නේ ඇයි දැයි තවමත් සිතට නො ඒ. එතෙකුත් නොදැණුනු විඳීම තේරුම් ගියේ බසය තුම්මුල්ල ලක්සල පසු කරද්දීය. ඒ මටද උන්නු මලයා මීට දවස් සම්පූර්ණ නැතත් අවුරුදු විස්සකට පෙර ජනක මහබෙල්ලනට අනුව මහ දුරක ගියේය.

දු
අතේ වැඩිපුර සල්ලි ගැවසෙන දවසක පිටකට ගොස් කන්න බොන්නට ලිෂාන් ට ලොකු අයියෙකු ඇත. එසේ ගොස් නැවත නිවෙස්ගත වන විට රැගෙන එන දේ සොයා බලන්නට නංගියෙකු ලිෂාන්ට ඇත. ජංගමයට මුහුණ ඔබා සිටින කලක එයට ඔලුව ඔබා ඕපදූප සොයන්නට විසල්ට අක්කෙකු ඇත. කල කී දෑ සොයන්නට, බැණුම් අසන්නට, අතේ එල්ලී ෆොටෝවකට සිටින්නට ලසිතටද නංගියෙකු ඇත. කුඩාකල සිනාසෙමින් අඬමින්ද, වැඩිහිටි කල එකමුතුවෙන්ද ඉන්නට මෙන්ම කඳුළු උනන බ්ලොග් පුරවන්නට සුභාෂ් අයියට නංගිලා අක්කලා ඇත. තමන්ගේ වැරදි තුරුම්පු ලෙස තබාගෙන අවශ්‍ය කලට ප්‍රයෝජනයට ගන්නා මල්ලියෙකු සිටින බැවින් ගයාන් හැම විටම පරෙස්සම් විය. බසය වැල්ලවත්තේ නවතා ඇත.

ලඟක නැති කල මුන් හට දුක දැනුනද, දුටු කලෙක එම සතුට එසේම දෙගුණ තෙගුණ වන බැවින් උන් මා අතර වෙනසක් ඇත. මා හට "අ"යන්නක් නොතේරෙන කලෙක ඉපදී අඬන්නත් පෙර මිය ගිය මාගේ සහෝදරයා දුක දනවන්නේ වෙනකෙකුට නොවූ විලසිනි. වෙනකෙකුට මෙන් නොව මහ දුරක ගොස් සිටින ඔහුට කතා කිරීමට උපාංගයක් තවම සාදා නැත. කලක් ජීවත් වූවෙකු මෙන් නොව ඔහුගේ මතකයක් ඉතිරිව නැත. ඔහුගේ අහිමි වීමට වගකියන්නට එකෙකු නැත. අම්මාත් තාත්තාත් ඔහු ගැන මතකයක් අවදි කරන්නට කැමති නැත. ඔවුනටද අවදි කරන්නට ඒ හැටි මතකයක් නැත. ඒ ගැන ඇසීමද ඔවුන්ගේ සිතට දුකක් දනවනවා ඇත. තමන් තුල හැදී, තමන් තුල දඟ කල කිරි කැටියාගේ ජීවය දැකීමට මාගේ අම්මාට නොහැකි විය. තමන් ජාතක කල දෙවැනි ජීවියා හඬනු අසන්නට මාගේ තාත්තාට නොහැකි විය. ඉදින් මට ඔවුන්ගෙන් ඒ ගැන ඇසිය නොහැක. තවමත් මා දෙහිවලය. දැන් දෙකන් පුරවන්නේ වොලී බැස්ටියන්ගේ "අයිරින් ජොසපින්" ය. ඌ සිටියා නම් මා මෙන් ඌද මෙයට ආසා වනු ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති කලෙක බියරයක් අත ලඟ තබාගෙන, ඌ අතට බොන්ගෝව දී මට අයිරින් ජොසපින් හඬ තලන්නට තිබිණි. මට අයිරින් ජොසපින් හී වචන පාඩම් අතර, මා හට බොන්ගෝවක්ද ඇත. අම්මත් තාත්තාත් ගෙදර නැති වෙලාවල් එමටව එලඹෙන අතර බියර් යනු සපයා ගත හැකි දෙයකි. ඒත් ඌ අඩුවක් වී ඇත. ඌ අඩුවක් වනු ඇත.

මා හට ආලපුරන්නට ආදරවන්තියක් ඇත. මිතුරන්ද බොහෝ ඇත. නිවෙස් අවට මිතුරන් ඇත. ආගිය තැන් වල මිතුරන් ඇත. පාසල් මිතුරන් එමටය. එයිනුත් කල්ලි ගැසුනු මිතුරන් සත් දෙනෙකුද ඇත. අන්තර්ජාලයේද මිතුරන් එමටය. එයිනුත් සැමදා සෙට් වෙන පුලුවන් සැමවිට කතා බහ කරන සෙට් එකක් ඇත. අනන්ත නෑදෑ කන්දරාවක් ඇත. එහෙත් ඌ නැත. ඌ කොහේ හෝ ඉපදී වන්නට හැක. ඌ මට මුනගැසෙනවාද විය හැක. මුනගැසුනත් වැඩක් නැත. ඒ ඌ නොවන බැවිනි. ඌ පෙර ආත්මයේවත් මා ගැන අසා නැත. ඌ නොආ අඩුව දරුණුව විඳින අයියෙකු ඌට සිටින බව ඌ නොදන්නවා ඇත. මා ඌ දැක නැති මුත් සිටියා යැයි අසා ඇත. එහෙත් ඌ එසේ අසා නැත. රත්මලාන ගුවන් තොටුපල පසුවන බැවින් මා බසයෙන් බැසිය යුතුව ඇත. ඌ මා අසලකම සිටිනවා විය හැක. සින්දු ගොඩේ සින්දු තවමත් ඔහේ වැයෙන අතර ඒ ගැන සොයන්නට මේ පැයක ගමනේ මට නොහැකි විය. මා බසයෙන් බැසීමි.

Friday, October 15, 2010

පෙරේරා තුන් හවුල සහ බයිලා

කතා කිරීමට අවැසි වූයේ සිංහල ගීතයට කෙල වන ආකාරය සහ මා අතිශයින් රස විඳින සහ ආශා කරන සැබෑ මානුෂීය හැඟුමින් සහ රසයෙන් පිරි බයිලා ප්‍රමුඛව ලාංකීය පෙරේරා වරුන්ගේ සංගීතය පිළිබඳවයි.

මාතෘකාවට බයිලා ප්‍රමුඛ වුවද පෙරේරා අනු කොටසක් වුවද බයිලාවට නැති අතිශය සුන්දර කළාකරුවෙකු සිහියට නැගෙන්නේ එතෙක් මෙතෙක් සහ මා මියෙන තෙක් මා ප්‍රියතම ගායක ම'වින් පෙරේරා ය. මෙම ලිපියේ පලමු කොටස මොහුගෙන් පුරවන්නට සිත් වූයේ, පෙර දින මා කැමතිම ගීත එක ගොණුවකට ගෙන ඒමට යෑමේදී "ම'වින් පෙරේරා" නැමති ෆෝල්ඩරය තුල මා පත්වූ අසීරුවයි. ආදරේ රන් බිඟුන් නැසූ, අකුරු සතරකින්, දියළුම දිය ඇලි, කතරක තනිවී, මා සනසා, මේ නගරය, ඔබ දේදුන්න ආකාසයේ, රන් මීවිත පුරවා... වැනි සියල්ල එක්වර පැනනැග මා ප්‍රියතම ෆෝල්ඩරයට පැනීමට උත්සුක විය. එකෙකුගෙන් අනිකාට තම ප්‍රියතම ගායකයා බොහෝවිට වෙනස් වන අතර මා පෙරද අත්විඳි පරිදි කපුගේ සහ ම'වින් ඒ සැවොම අතර වැඩි ප්‍රතිශතයකින් සිත් විය. මා දැනට අවුරුද්දක පමන කාලයේ සිට ප්‍රියතම ගීය තත්වයා තබා ඇති ගීත අතර අකුරු සතරකින් මුල් තැන රැඳී සිටී.


""ආ"යන්නෙන් මා පැතු ආදරේ
"ද"යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
"ර"යනු රළු බැවින් සවන් යුග වසා
"ය"යනින් කීවේ යන්න ඔබ හැරා


"වි"යනු වියෝගේ මැව්වා සිතේ
"වා"යනු වාවන්නට පෙලඹුවා නිරතුරේ
"හ"යනු හසරැලී නගන්නෙමි කියා
"ය"යනින් යලි කීවේ එන්න ඔබ කරා"


බයිලාව තුලට ලිපිය හැරවීමට පෙර තවත් දෙදෙනෙකු මතක් කල යුතුව ඇත. ඒ අනිත් පෙරලි කල පෙරේරාවන් යුගලයයි. ඒ ජිප්සීස් සුනිල් සහ මේරියන්ස් නලීන් ය. මා දෙවනියට ආසාම කරන පිය ගුණ ගීය බොහෝවෙකු රස්තියාදු යැයි කියන සුනිල්ගේ "තාත්තා මට ඇනපු ටොක්කයි".

සුනිල් පෙරේරා, "සයිමා කට් වෙලා" සහ "ගිණි අඟුරු ගොඩේ" මා ප්‍රධාන වශයෙන්ම ආශා කරන සුනිල් පෙරේරා ගී යුගලයයි. බටහිර සංගීතය දැඩි හිතට වදින පිරිමි කටහඬකින් සහ තාලයකින් ගයනා සුනිල් පෙරේරා නොහොත් සුනිල් අයියා මේවායේ බටහිර ඌරුව අසන්නාට අමතක කරවයි. කළාකරුවෙකු සතුවිය යුතු නිහතමානී ගතිගුණ මෙන්ම සෘජු සහ අවංක අදහස් ඔහුගේ ගී කෘති තුල මෙන්ම සජීව සංවාද තුලද පැන නගින තර්ක තුලිනුත් ඔප්පු වේ.

නලින් පෙරේරා, අතිශය අමුවෙන් කතා කරන්නෙකු සහ අති සුන්දර තනු නිර්මාණකරුවෙකු මෙන්ම වසර විස්සක් වන මේරියන්ස් නම් මහා පවුලේ මූලිකයාද වේ. අංජලීකා, මුදුකෝමල ගෑණු ළමයිනේ, මරියසිලෝ, ආලේ සුන්දරයි සුන්දරී, සඳළු තලේ... එකකට එකක් බෙදිය නොහැකි සුන්දරත්වය, සොඳුරු ස්ත්‍රී රුව. . .

"බෝර්ච්චි හැට්ට දාලා
ඇට මාල කොට්ට බැඳලා
කම්බාය වටොර හැඩලා
යන උජාරු නලවාලා"

සංගීතය, කැපිලි, කුණු කතා, සල්ලි, සම්මාන, ගැරහිලි, විචාර, චරිත සහතික මැද පෙරේරා තුන් හවුල නොසැලී ස්ථාවරව සිටී.

අවසන ලිපියේ බයිලා කොටසට එළඹිය යුතුව ඇත. වොලී බැස්ටියන්, ඇන්ටන් ජෝන්ස්, එම්. එස්. ෆර්නෑන්ඩු, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන් ගෙන් පසු ලංකාවේ බයිලා කලාව ලහිරු පෙරේරාට දිය යුතුද?

යන්න පලමුව ඇසීමට ඇති ප්‍රශ්නයයි. ඉහත පලමුව සඳහන් කල ශ්‍රේෂ්ඨයින් පස් දෙනා බයිලාව තුලින් ඉතිරි කල අර්ථ තාල සෘංගාරය කොපමණද?

"මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද බට නලාවේ
හමුවෙමූ අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ"
-වොලී බැස්ටියන්-

"රම්‍ය මනහර දලදා මැදුරේ
අපි යමුකෝ සුමිතුර බලන්න නුවර පෙරහැරේ"
-ඇන්ටන් ජෝන්ස්-

"මුතු මැනික් ආදරේ නොවේ
මිල මුදල් ආදරේ නොවේ
ආදරේ මෙතරම් බාල නොවේ
ඔයා දන්නේ නෑ"
-එම්. එස්. ෆර්නෑන්ඩු-

"ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට"
-සුනිල් පෙරේරා-

"දන්නවා ගේමේ වතගොත
හරියට ජෙමා හිතවත
කවදාවත් පැරදිලා නැත


බූරුවා කුට්ටමේ පොත
තෝ මට පරාජය නැත
ගහන එවුන්ටයි හතේ හත"
-නිහාල් නෙල්සන්-

ඉහත බයිලා පහට සම කරන්නට බයිලාව මෙකල බිහිවී ඇත්දැයි සිතිය යුතුව ඇත. එය රම්බරීට හෝ එය කියන එකාගේ රට කජ්ජට සමාන වන්නේද නොවන්නේද යන්න ඔබට බාරය. තවද ඇල්බම් එකට සින්දු මදි වෙච්ච පිණිබාතිය සන්තුෂ්ඨිය වැන්නන්ට රීමිx කරන්නට ගත්තු සින්දු හිට් වෙන ලෝකෙක මෙව්වාට වන සෙතකුත් නැත. මින්පසු "බයිලා ගහන්නෙපා යකෝ" යැයි යමෙකුට දෙසන්නට පෙර දෙවරක් සිතන්න. මෙහෙව් ශ්‍රේෂ්ඨ බයිලාව වෙනුවෙන් කරන පුංචි ඉල්ලීමකි!

Wednesday, September 29, 2010

පිරුනු වසර


කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.

මම තාමත් මතක් කරනවා. . .

මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි

අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි

කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි

මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි

සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි

රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි

විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි

පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි

කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .

ඒ සිම්පල් විදිහට

ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට

සත්තුන්ට තිබිච්ච ආදරේට

පොත් වලට තිබ්බ ආසාවට

පෙට්‍රල් සුවඳට ආසාවට

සල්ලි වියදම් කරන විදිහට

අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට

මට කතා කරපු "අමු" විදිහට

මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට

ඒ ඉවසීමට

මගේ කඳුළු යට දාපු විදිහට

මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.

තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ

Sunday, September 26, 2010

සරීර ශුවථා

මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.

මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.

සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.

වේල් තුනක් කෑ පසු තව දෙකක්            ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු            ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු     ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම          වෙතී

මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.

ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී.  ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.

මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.

Friday, August 27, 2010

ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි. . .

වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.

මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.

ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.

ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!

ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.

ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.

මා: මේ !
ඈ: ම්ම්ම්. . .

මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?

මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!

ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.

ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.

ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!

ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!

ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?

ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!

ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...

ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!

ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!

ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.

ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.

ඈ: ඉතින් මොකද්ද? කියන්න!

සතුටින් නිමි.

Friday, August 6, 2010

මදහස

සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.

මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්

අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.

මුදලා. . ලී..

හ්ම්

ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.

**********************************************************************************

අයියේ ඉතුරු

දෙන්නං මල්ලී

ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.

කේ හත්සියපනහ තියේද?

හ්ම්ම්

කීයද ?

හයාමාරක්

යකෝ උස්සපුවැයේ ගනං.

පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.

අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!

**********************************************************************************


කොළඹ කැම්පස් බහින්ඩා. . . !

සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.

එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.

පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ

**********************************************************************************

ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !


ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.

බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!

බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.

**********************************************************************************


කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.

බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.

හහ්. . .

මට මදහසක් නැගිනි!