මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Wednesday, November 9, 2011

මැණිකෙට



එදා අපි හිඳ
හිටිය විලසට
ජෝඩු ඇත අද
පෙමින් බැඳෙමින

එදා අපි සිටි
ගල් රවුම උඩ
තවම හිඩැසක්
ඉතිරි වී ඇත

අප විහිළු කල
පෙම් ජෝඩු වෙත
විහිළු කරනට
එකෙක් අද නැත

සිලි බෑග්කට
පුරෝලා දෙන
වෙරළු මලු අද
මග බලං ඇත

නරුම ලෙක්චර
ජොබ නිමාවී
එන තුරා අප
උන් බලං ඇත

ඉතිං සොඳුරිය
වෙහෙස දිවියට
අවැසි සුපහස
තුටින් විඳිනට

යමුද ආපහු
අලුත් දවසක
වෙලී ඉන්නට
පෙම් පුරය වෙත

Wednesday, November 2, 2011

මගේ මරණය



**********************************************
2010 නොවැම්බර් 18
බස් රියක් තුල/ කොළඹ
උදෑසන


ඌ මා පසුපසින් එලවා එමින් සිටියේය. මා තවමත් පෙර නැග්ග බසයේ එල්ලීගෙන උගෙන් පැන යන අතරතුරය. ත්‍රී රෝද රථයට සියල්ල යොදවා අත ඉතිරි කරගත්තේ රුපියල් 50ක් පමණි. එය මා හට බසයට ප්‍රවේෂ පතක්ද ගෙන සාමකාමී මරණයක් ලඟා කරගැනීමටද ප්‍රමාණවත්ය. අවසන් වරට උගේ බිරිඳ පැවසූ දෙය තවමත් මගේ දෙසවනේ රැව්දෙයි. "උඹ පර බල්ලෙක්.. උඹලා දෙන්නම එකයි.." මා එවෙලේ අවඥ්ඥාසහගත ලෙස සිනහ වූවා මට මතකය. අතීතයක් ආවර්ජනයෙන් ඵලක් නැත. ඌ පලිගැනීම වෙනුවෙන් කුමක් හෝ සිදුකරනු ඇත. එක්වරම බසය හරස් කර කැබ් රථ දෙකක් නැවැත්වූ අතර පසු පස දොරේ පාපුවරුවේ සිටගෙන සිටි මා එයින් බැස දිවීම අණුවන කමකැයි සිතුවෙමි. හැඩිදැඩියන් කිහිප දෙනෙකු බසය තුල සිටි කලු පැහැති ඇඳුම් හැඳගත් තරුණයින් කිහිප දෙනෙකුටම නොසෑහෙන ලෙස පහර දුන්හ. ඔවුන් බසයේ පසුපසට ලඟා වනවිට එවන් තරුණයන් තිදෙනෙකුම බසය තුල වැටී කෙඳිරිගාමින් සිටි අතර හැඩිදැඩියන්ගේ අවසන් තීරණය වූයේ කලු ඇඳ සිටි සියල්ලන්ටම වෙඩි තැබීමටය. මම කිසිඳු හැඟීමක් දැනීමක් නැත්තෙකු මෙන් ඔහේ බලාගත්වනම  බලා සිටියෙමි. මගේ ඉදිරියටම පැමිණ මුහුන දෙස බැලූ එක් මැරවරයෙක් තවකෙකු අසලට ගොස් ඔහු හා කතා කලේය. ඔහුගේ යම් ඉඟියකින් පසු මා දෙසට එල්ල වූ තුවක්කු කටින් උන්ඩ දෙකක් නිකුත් විය. සිරුර තුලින් දැනුනු දැවීයාමක් සමගම මා බිම ඇද වැටුනි. මා හැඳ සිටියේද කලු පැහැති ඇඳුමකි.

**********************************************

2010 නොවැම්බර් 15
නිවසක/ මීගමුව
සැඳෑව


මා වාහනයෙන් බැස නිවස දෙසට පිය නැගුවෙමි. බිරිඳ පිටතට යන බවක් මට දැන්වූවේ නැත. වේලාව සැඳෑවේ හය පසුවී මිනිත්තු තිහකි. තවමත් විදුලි පහන් දල්වා නැත. නිවස තුල අන්ධකාරය රජයයි. මා දෙගිඩියාවෙන් නිවසට ඇතුල් විය. රේඩියෝව වාදනය වේ.

"සිසිල දෙන මේ නදී තෙරේ... තුරුළු වුනු මාගේ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී... හිඳිමු යැයි කීව කුමරියේ
"
 "ම්හ්..." බිරිඳගේ සේයාවක්වත් නැත. තවමත් ගීතය වැයෙමින් පවතී. මා සාලය මැද සිටගෙන ඇය සෙවූවෙමි. විදුලි පහන් දල්වා සෙවුවෙමි. නැත. ඇය පෙනෙන මානයක නැත. මා නිදන කාමරයේ ඇය සෙවීමට ගියෙමි. ඈ ඇඳ විට්ටම අල්ලාගෙන ඇඳට ගොඩවීමට උත්සහ දරමින් සිටියාය. මා ඇය වෙත ඉක්මනින් ගොස් ඇයව ඇඳ මතින් තැබුවෙමි. ලේ විලකි. මගේ බිරිඳගේ උදර ප්‍රදේශය දරුණු ලෙස මුවහත් ආයුධයකින් කපා ඇත. ඇයගේ දෑස් අඩවන්ව ඇත. මා ඇය තුරුලට ගෙන සිද්ධිය විමසුවෙමි. නන්නාඳුනන කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇයට දරුණු ලෙස තුවාල සිදු කොට ඇත. ඇය මට අවසන් වරට පැවසුවේ "ඔයාට ඔය දළකාරයෝ එක්ක හැප්පෙන්නැතුව ඉන්න තිබ්බා" යනුවෙනි. මා හට එක්වරම සියල්ල සිහියට නැගුණ මුත් ක්ෂණයෙන් ඇයගේ දෙඇස් පියවීම සහ ගැස්ම නැවතීම හේතු කොටගෙන නැගුණු මතකයන් බිඳක්වත් ඉතිරි නොවුනතර, මා ඇය ඇඳ මතට අතහැර ඇඳ මෙට්ටයට බරදී බිම වාඩිවුනෙමි. මේ මාගේ අකීකරු සිතින්, අත මතට බලය යොදවා ලියැවුනු ලිපියක අවසාන ප්‍රථිඵලයයි. ඇමතිවරයෙකුගේ අත්තනෝමතික ක්‍රියා පිලිබඳ ලියූ ලිපියක් හේතුවෙන් මා ප්‍රිය බිරිඳ අවසන් හුස්ම හෙලා ඇත. ඒ තවත් ගැහැණුන් දෙදෙනෙකුගේම ගැහැණු වීරිය රැඳි පිහි පාරවල් වලිනි. සාක්ෂි නැත. නඩු කියා දිණිය නොහැක. මගේ ලිපියේ අවසාන ප්‍රථිඵලය තව දුරටත් ඉදිරියට ගෙන යාමට මා ඉටා ගතිමි. පිඹුරුපත් සැකසීම හෙටට යෙදිය යුතුය. මා බිරිඳව ඔසවා වාහනයට දාගතිමි. ගමනාන්තය ඉස්පිරිතාලය ලෙස සිතේ රඳවා ගතිමි.

**********************************************


2010 නොවැම්බර් 18
දැඩි සත්කාර ඒකකය/ ශ්‍රී ජයවර්ධනපුර රෝහල
සැඳෑව

මා දෙ ඇස් හරින විට සිටියේ ඉස්පිරිතාලයකය. එය දෙ ඇස් ඇරීම නිසා දැනගත්තක් නොව නහය වටා භ්‍රමණය වුනු ඖෂධ දුගඳ නිසා දැනගත්තකි. මා ඔහේ බලාගත් අත බලා ගෙන සිටියෙමි.  සිරුරේ අප්‍රාණික බව දැනේ. බෙල්ලෙන් පහලට කඳ ඔහේ කඩා වැටී ඇත. එය මාගේ පාලනයෙන් තොර යැයි සිතිනි. මා එය නිෂ්චය කරගනු වස් හරිබරි ගැසෙන්නට ගියෙමි. නමුත් එය වූයේ නැත. වෛද්‍යවරුන් ලේ පරීක්ෂා කරන්නට ඇත. හෙදියන් මා දෙස බැලුවේ පිළිකුලෙනි. HIV ආසාධිතයෙකු වීම සම්බන්ධයෙන් ඔවුන් දරණ මතය දෙස මා බලා සිටියෙමි. ඔහේ බලා සිටියෙමි. එක් උණ්ඩයක් සිරුරෙන් ඉවත් කර ඇත. අනෙක ඉවත් කිරීමට අවශ්‍ය ශාරීරික අවශ්‍යතාව සපිරෙන තෙක් බලා සිටිය යුතුව ඇත. උන් ඒවා කිසිවක් මට කීවේ නැත. මේ මා උන්ගේ හඳුනාගත නොහැකි අමුතු වචන සහ මිශ්‍ර වූ ඉංග්‍රීසි සිංහල සම්මිශ්‍රණයෙන් අහුලාගත් අර්ථයයි. මා කිසිඳු හැඟීමකින් තොරව බලා සිටියෙමි. කට උත්තරයක් ගැනීමට තරම් මා ප්‍රාණවත් වන තුරු පොලීසියෙන් දොර අසලය. හදිසියෙන් රෝගීන් කෙරෙහි බැඳුනු දයාණුකම්පිත සිතින් ඇමතිවරයෙක් රෝගීන් නැරඹීමට පැමිණ ඇත. නමුත් මේ සුවිශේෂී අවස්ථාව උදා වන්නේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට පමණි. මා සමග බසය තුල වෙඩි කෑ සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු දැනටම මිය පරලොව ගොස් ඇත. මා ද තවකෙකුද ඉතිරිව ඇත. ඇමතියා මා දෙස හිස් බැල්මක් හෙලීය. ආරක්ෂකයින්ට මා හඳුන්වා අවසන් වත්ම ඇමතිගේ රෝගීන් නැරඹීම හදිසි රැස්වීමක් නිසා අවසන් වීය. මට මිය යෑමට ක්‍රම තුනක් ඇත. බොහෝවිට ඉතිරි උණ්ඩය ඉවතට ගතහොත් මා අවසන් ගමන් යනු ඇත. නැතහොත් ඒඩ්ස් රෝගය හේතුකොටගෙන මිය යනතෙක් මා බලා සිටිය යුතුය. නැතහොත් ඇමති සංඥාව ක්‍රියාත්මක විය යුතුය. එසැනින් මා හැර සියලු රෝගීන්ට සිහි නැති කිරීමේ එන්නත් ලැබුණු අතර දෝස්තරුන් සහ හෙදියන් ඒකකයෙන් ඉවත් විය. මද නිහඬතාවයකින් පසු පුද්ගලයෙකු දොර හැර ඇතුලු විය. ඔහු විසින් මගේ සේලයින් බෝතලයටම මොනවාහෝ එක්කෙරුනු අතර මා හිස් දෑසින් එදෙස බලා සිටියෙමි.

**********************************************

2010 නොවැම්බර් 17
ඇමති නිල නිවස/ කොළඹ
රාත්‍රී කාලය

පෙරදින සැකසූ පිඹුරුපතෙහි ඉතිරිය ක්‍රියාත්මක කිරීමට කාලයයි. මා ඇමති බිරිඳට දුරකථනයෙන් අමතා කතිකා අරගත් පරිදි පෙරදින සවස ඇය හමුවට ගොස් ඇයගේ ඡායාරූප කිහිපයක් සහ සම්මුඛ සාකච්ඡාවක් පටිගත කොටගෙන පැමිණියෙමි. ඇමතිවරයා දින කිහිපයකට පිටතට ගොසිනි. උගේ සාක්ෂි නැසීමට පිටත සිටීමේ සංසිද්ධිය මා හොඳින්ම දැන සිටියෙමි. ඇමති නැවත කොළඹ පැමිනෙන්නේ 18 වෙනිදා යැයි ඇමති බිරිය මා හට පවසන ලදී. මා ඇයට වචනය දැමූ අතර ප්‍රතිචාරය සුබදායක විය. අද රාත්‍රියේ ඇය මා වෙනුවෙන් වෙහෙසීමට නියමිතය. මගේ බිරිඳගේ මිය යෑම මගේ ක්‍රියාවන් මග නවතා ඇත. තවත් ඉදිරියට ජීවත්වීමක් හෝ ඒ කෙරෙහි සේයාවක්වත් මා තුල නැත. මා, හිතවත් වෛශ්‍යාවකගෙන් ඉල්ලාගත් HIV ආසාධිත රුධිර සාම්පලය ශරීර ගත කරගතිමි. මා පලිගැනීමේ නොතිත් අරමුණින් ඇමති බිරිය වෙත ගියෙමි. ඇයගේ විශේෂ අවසරය මත මුරකුටියේ පොතෙහි මගේ නම නොලියවුනු අතර, නිවස තුලට ගිය මා වෙත කහ පැහැති දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසී ඈ පැමිණියාය. දෙතුන් හෝරාවක කාලයක් අප කෙලිදෙලෙන් වෙසෙන්නට ඇත. මා ඇය වෙත මගේ සත්‍ය කතාව කීම ඇරඹුවාය. කියාගෙන සියෙමි. දිගටම..
"මේ ඒ ප්ලෑන් එකේම කෑල්ලක්. ඔයාගේ මිනිහට කොච්චර දැනෙයිද මම උගේ ලිංගික ආධිපත්‍ය ආක්‍රමණය කලැයි කිව්වහම. ආපහු ඌට ඔයත් එක්ක නිදහසේ ඉන්න බෑ කිව්වම. දැන් ඔයත් HIV පොසිටිව් කෙනෙක්. මට වෛර කරාට කමක් නෑ. හැබැ‍යි ඔයාගේ මිනිහගේ වැරැද්ද පාගගෙන මට වෛර කරන්න."
මගේ කතාවේ අවසානය එය විය.
"උඹ පරබල්ලෙක්.. උඹලා දෙන්නම එකයි" 
ඇය පැවසුවේ එපමණකි. මා අවඥ්ඥාසහගත සිනිහවකින් ඇයට සංග්‍රහ කලෙමි. ක්ෂණයෙන් ලාච්චුවක වූ පිහියක් ගෙන ඇගේ වමත කපාගත් අතර, අනෙක් අතට දුරකථනයෙන් ඇමතියා ඇමතුවාය. ඒ ඉතා අසරණ හඬකිනි. එසැණින් මා මගේ ඇඳුම හැඳගෙන පිටතට බැසීමි. වෙලාව පසුදා එනම් 18 වෙනිදා පාන්දර දෙකත් පසුවී ඇත. මා අත ඇති මුදල බජට් ටැක්සියකට පවසා, එපමණක් දුර ගෙන යන මෙන් පැවසූ අතර ඉබාගාතේ පාරවල් ඔස්සේ ගොස් උදෑසන හයට බොරැල්ලෙන් මා බසයකට ගොඩ විය.

 **********************************************


Wednesday, October 19, 2011

"කොස්ස නහන්න විස්සට තියට"



"අන්නාසේ... අන්නාසේ... කොස්ස නහන්න විස්සට තියට... විස්සට තියට"

හේ අන්නාසි වෙලෙන්දෙකි. ගාලු වුවදොර පිටියේ වෙලදාම් කරන්න්නෙකි. ඔහුගේ ලොකු පුතා ඉස්සො වඩේ විකුණයි. මා ඔහු ඇසෙන මානයේ ඔහු පිලිබඳ නිරීක්ෂණයෙන් උනිමි. ලොකු පුතා විටින් විට ගොස් මොහුගෙන් කැරට් අලයක්ළුණු ගෙඩියක් රැගෙන යයි. පසුව දැනගත් පරිදි ඒ ආරක්ෂාව පිණිසය. මහජනාරක්ෂාවට සිටින ඇත්තන් ඉස්සො වඩේ වෙලෙන්දන්ගේ කරට් අලයටළුණු ගෙඩියට බලහත්කාරයෙන් විදින බැවින් ඔවුන් ඒවා ආරක්ෂිතව ගබඩා කිරීමට ක්‍රම සොයාගෙන ඇත. අන්නසි වෙලෙන්දාගේ ලොකු පුතා ඒ සඳහා අන්නාසි වෙලෙන්දාගේ නොහොත් සිය පියාගේ රැකවරණය තෝරාගෙන ඇත. හේ තම අන්නාසි ජනාකීර්ණ ස්ථාන වල සිට මාකට් කරයි.
 
"නෝනල මහත්තයල කාලම බලන්න. අන්නාසි කියන්නේ ආහාර කපන අසිපත කියන එක. දිරවන්නේ නැති කෑම දිරවගන්නබඩේ අමාරුබඩේ පිපුම ඔක්කොටමඕන කොස්සකට හොඳයි. කෑමක් ගනිද්දි දේවල් තුනක් බලන්න ඕන. රහේ ගුණේ වගේම ලාබේ. තුනම මෙතන තියනව මහත්තයා. විස්සෙ පැකට්......තියේ පැකට්...... හරිම රසයි. ලුණු මිරිස් කුඩු පොඩ්ඩක් එක්ක උඩුතල්ලේ ගෑවිගෙන බඩට බහිද්දිඅමා රසේ පරාදයි." 
 
හේ අවට සිටින උන්ට කෙල ගිල්ලවයි. ඔහුගේ වදන් වලින් මැවූ අන්නාසි කැබලි අවට සිටින උන්ගේ දිව මත දඟ කරයි. මමද සන්තකයටම වූ අවසන් රුපියල් පනහ එලියට ඇද එයින් විස්සේ අන්නාසි පැකට් එකක් මිලට ගතිමි. "කෙට්ටු වෙනවා මහත්තයා මේවට" හේ මට ඉතිරි තිහ මිට මොලවන ගමන් කීය. ඒ මම මහත නිසා විය යුතුය. මා ඔහු අසලින් හිඳිමින් ඔහුගේ මාකටින් ස්ට්‍රැටජිය අධ්‍යනය කරමින් උනිමි. 
 
ලී බංකු පේලියේ එකක හේත්තු වී, දකුණු ඇලයට ඉහ අතකට බර කර හිදිනා තරුණයෙකි. ඔහු අනවරත රළ රටා දෙස හිස් දෑසින් බලා හිඳින අතර යමක් මුමුණයි. බොහෝ විට ඒ මිල්ටන් මල්ලවාරච්චි ගේ ගීතයක් විය හැක. අන්නාසි වෙලෙන්දා ඔහු වෙත ගොස් ඔහුගේ දැහන බින්දේය.  
 
"පුතාහිතේ අමාරුවකින් වගෙයි. ඔහොම තමයි පුතා. ඔය වයසට සතුටු හිතෙන විදිහටම තමා දුකටත්. මං පොඩිකාලේ, මේ තැනම වාඩි වෙලා හිටිය ජෝඩුවල පොකට් එකට විදිනකොට මම කවදාවත් හිතුවේ නෑ මං මෙතනම සාධාරණ රස්සාවක් කරයි කියලා. මාව වෙනස් කරේ මගේ ගෑණි. කොයි මිනිහටත් ජීවිතේ හරියන කාලයක් වගේම හරියන්න ක්‍රමේකුත් එනවා. ඒ මිනිහට පුළුවන් වෙන්න ඕනඒ ගොඩ යාම අතුලේ නැගිටගන්න. කන්න පුතා අන්නාසි කෑල්ලක් දෙකක්. ඕවා අමතක වෙලා යයි."
 
තරුණයා අන්නාසි මල්ල ගෙනපසුම්බියෙන් ඉවතට ගත් මුදල් දිගු කල මුත් ඔහු එය පිලිගත්තේ නැත.

"සල්ලි එපා පුතා. මට අද සතුටු වෙන්න පුළුවන්. කැම්පස් කොල්ලෙක්ගෙ හිතෙන් පොඩ්ඩක් හරි දුක තුනී කරන්න පුලුවන් වෙච්ච එකට."

ක්ෂණයකින් තරුණයා හැඳ සිටින ජ'පුර විශ්වවිද්‍යාල ටී ෂර්ටයට මගේ ඇස ගියේය.

"අනිකපුතා ආපහු දවසක ගෑණු ලමයෙක් එක්ක ගෝල්ෆේස් ඇවිත් මගෙන් අන්නාසි මල්ලක් ගන්න. එදාට මම ඔයාගෙන් සල්ලි ගන්නම්."

හේ ඉදිරියට ඇවිද යයි. ඔහු කියවීමට වටින මිනිසෙකි.  මාකටින් යනු පෙලඹවීමක්ද රැවටීමක්ද යන ප්‍රස්ථාරය හේ ධනාත්මකව උත්තේජනය කරයි. බොහෝවිට ඔහු සිය අදහසක් වැපිරීමට තවකෙකු සොයනවා විය හැක. එතෙක් ඔහු "අන්නාසේ......අන්නාසේ......" යන වචනය අනවරතව පවසමින් ඉදිරියට ඇවිද යයි. මාඔහු පසු පසින් ඒම සම්බන්ධව ඔහුට නිනව්වක් නැතුවා විය හැක. හේ හුලං පෙති ඉල්ලන දැරියක් අසල නැවතුනි. මා ඒ අසලට ලං වන විටත් ඔහු දැරියගේ දෙමව්පියන් හා කතාබහට එලඹී ඇත. දැරිය මුහුදු හුලඟට ගැටෙන සේ ඇයගේ අභිමානවත් හුලං පෙත්ත අත දරා සිටී.
 
"මේ දැන් කාලෙ හැටිනෙ මහත්තයෝ. ගෑණු දරුවෙක් හම්බුනොත් "නරකක් වෙයි" හිතලා ආරක්ෂා කරන්න ඕන. පිරිමි දරුවෙක් හම්බුනොත් "නරකක් කරයි" කියල ආරක්ෂා කරන්න ඕන. හැබැයි ඕවැයෙ අනිත් පැත්ත වෙන්නත් පුලුවන්. දැන් කාලේ ළමයෙක් හදන එක හරිම අමාරුයි ඉස්සරට වඩා. සමාජෙත් එක්ක ගැටෙන්න යවන්න බයයි. එහෙමයි කියලා නොයවත් බෑ. මොකද නැත්නම් ළමයාට දැනුමක් තේරුමක් නැති වෙනවා සමාජෙ ගැන. ඒක ඊටත් භයානකයි. මේවා තහංචි දාල හදන්නත් බෑ. මහත්තයලටත් තේරේවි මේ දූ සිඟිත්ත ලොකු වෙද්දි. ඉස්සර අපේ අම්මල අපිව වැලැක්කුවේ සිගරට් බොන්න යන එකෙන්. ඒත් දැන්සිගරට් බිව්වත් කමක් නෑ කුඩු ගහන්න එපා කියලයි කියන්න වෙන්නේ. ගෑණු ලමයින්ටත් ඒ සෙතේමයි. ඉස්සර කියන්න වුනේ නරක චිත්‍රපටි බලන්න එපා කියලා. ඒත් දැන් කියන්න වෙලා තියෙන්නෙ නරක චිත්‍රපටි වල රඟපාන්න එපා කියලා. මම මෙතන හැමදාම අන්නසි විකුණන නිසා දන්නවා මහත්තයෝ. එක ලඟ බංකුවල වාඩි වෙලා හිටි ජෝඩුසතියකින් එනවා එහා බංකුවේ කොල්ලයි මෙහා බංකුවේ කෙල්ලයි එකට. දැන් සමාජේ ඔක්කොම නරක ටික සුද්දෝ විදිහට ගිහින්. හැබැයි දියුණුව විතරයි සුද්දගේ විදියට නැත්තේ. දැන් මිනිස්සු අන්නාසි කන්නෙත් නෑ. ලොකු ලොකු ජාති. මහත්තයලා කනවද අන්නාසි පැකට් එකක්."

දැරියගේ පියා අන්නාසි මල්ලක් ගනී. දැරියට වෙනම අන්නාසි මල්ලක් ඉල්ලා සිටියා විය යුතුය. ඔහු ඇයටද අන්නාසි මල්ලක් ගෙන දෙයි. දැරිය හුලං පෙත්ත බිම අතහැර අන්නාසි කමින් සරුංගලය දෙස බලාසිටියි. ඇගේ දෙමව්පියන් අසල සිටි පෙම් යුවලක් දෙස බලාසිටියා විය යුතුය. ඔවුන්ගේ දැහැණ බිඳුනේ දියණිය අත දිගු කර පෙන්වූ සරුංගලයෙන් විය යුතුය. වැඩි වෙලාවක් නොසිට ඉදිරියට ඇදෙමින් සිටි අන්නාසි වෙළෙන්දා පසුපස මා ඇවිද ගියෙමි.


ඡායාරූපය මෙතනින්

Wednesday, October 12, 2011

ඉන්ද්‍රජාලිකයාගේ මරණය


මෙය මින් සති කිහිපයකට පෙර පැවති කෙටි කථා තරඟයකට ලියන ලද්දකි. පෙර කියවා ඇත්තෝ සමාවෙත්වා. මෙය එම කෙටි කථා තරඟයේ, අග සිට ජනප්‍රියම ස්ථාන පහ තුල සිටි සේම මුල සිට හොඳම තුන් වෙනි කතාව ලෙස තේරී පත්වුනි. මින් පෙර කියවූ සහ අඩු පාඩු සඳහන් කලවුනට ස්තූතිය!
අත්ලවල් එකට වදින දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඒ ශබ්දයට ඔහු ආශා කල අතර එය නොතිත් ආශාවක් බවත්, තමාගේ ඉන්ද්‍රජාල උපදින්නේ මුදල් සහ අත්පොලසන් වෙනුවෙන් පමණක් බවත් ඔහු විශ්වාස කලේය. තිරය වැසුනතර, රතු තිරයෙන් ඔහු සැඟවී යන දෙස බලා සිටි පොඩිවුන්ගේ මුහුණේ වූ දුක්මුසු හැඟීම ඔහුට සතුටක් ගෙනාවේය. තිර වැසී, පහන් නිවී අවට අඳුරු වූ පසු ඔහු ක්ෂණයකින් ඔහුගේ අතීතයට ගියේය. හේ වලව් පැලැන්තියක එක් පරම්පරාවක් බඩ පිස්සෙකි. ඒ වනවිටත් අයියලා අක්කලා ස්වයං පාලනයක් යටතේ ජීවත්විය හැකි මට්ටමකට වැඩී තිබූ බැවින්, බඩපිස්සා වෙනුවෙන් තනි මෙහෙකරුවෙකු වෙන් විය. නෑවීම, කැවීම , සුරතල් කිරීම, නිදි කරවීමට අමතරව උරහිසේ පුංචි මහත්තයාගේ හිස හොවාගෙන පැදකුණු කිරීමද හේ සතුටින් ඉටු කලේය. කතා නායකයා දැණුම් තේරුම් යන වයසකට ආපසු, සවසක වලව්ව පසු පස මෙහෙකරුවා තම පුංචි හාම්පුතාට ඉන්ද්‍රජාල කිහිපයක් පෙන්වීය. අතේ වූ ටොපිය හැන්ගීම, වම් සාක්කුවට දැමූ රුපියල දකුණු සාක්කුවෙන් ගැනීම වැනි ඉන්ද්‍රජාල කිහිපයකට පසු තමා ඒ දෙස විශ්මයෙන් බලා සිටින විට, ඔහු තමා වෙත හෙළුවේ තමුන් මෙතෙක් වෙලා තම ප්‍රක්ෂකයන්ට දැක්වූ ගාම්භීර සිනහවම නොවේදැයි ඔහුට සිතිනි. ක්ෂණයකින් ඔහු නැවතත් වත්මනට පැමිණිතර හේ වේදිකාවෙන් ඉවත්ව සිය කුටියට ගියේය.

ඉන්ද්‍රජාල කිරීම් ඔහුගේ රැකියාව විය. විනෝදාංශය විය. ජීවිතය විය. වයස අවුරුදු නමය දහයේදී මෙහෙකරු විසින් තමා ඉදිරියේ ඉදිරිපත් කල මවා පෑම් කොතරම් ලාබාල අවධියක ඉන්ද්‍රජාලද යන්න ඔහුට පසක් වන සමයේදී සහ වර්තමානයේදීත් ඔහු ඒවා හට ගරු කලේය. මන්දයත් මුල් කාලයේ ඒ අවස්ථාවේ ලද ඉලිප්පීම නොවුනානම්, සීතල දේශයක කබා තුන හතරක් ඇඳගෙන සිය සහෝදර සහෝදරියන් මෙන්ම තමන්ටද උසස් මට්ටමේ ඒකාකාරී රැකියා කරන්නට සිදුවන්නට තිබුණු බැවිනි. ඊට අමතරව තම මෙහෙකරු ඉන්ද්‍රජාලික ගුරුතුමා හට ගෞරව කිරීමට ඔහුට තවත් හේතුවක් විය. මන්දයත් ඔහු තවමත් තමන්ගේ ගුරු මට්ටමේම රැඳී සිටින බැවිනි. මුල් කාලයෙන් පසු ගණිතය සහ ඇස් බැන්දුම් කෙරේ අතිශය ඥානයක් සහ පෙළඹවීමක් තිබූ තම මෙහෙකරුවාට ඉන්ද්‍රජාල පිළිබඳ දැණුම ලබාදීමට හේ උත්සුක විය. තමාට වඩා විසිවසකින් වැඩිමහලු මෙහෙකරුවාට ශාස්ත්‍රය දී ඒ හරහා තමාගේ සිහින වෘත්තිය වූ ඉන්ද්‍රජාලකරණය ඉදිරියට ගෙන යාම ඔහුගේ අපේක්ෂාව ඉව්ය. ප්‍රේක්ෂකයන් රැවටීම නොහොත් රඟපෑම පිලිබඳ තමන් වෙහෙසෙන අතරම , එම ඉන්ද්‍රජාලයෙහි යාන්ත්‍රණය නො එසේනම් රසායනය සිදුකිරීමට ඔහු සිය මෙහෙකරුවා යොදාගත්තේය. ඔහු තම පුංචි හාම්පුතාට හැකි උපරිමයෙන් සේවය කල අතර, මසකට එකක් බැගින් වූ නව ඉන්ද්‍රජාලයන් සොයා ගැනීමෙහිලා උපරිමයෙන් වෙහෙසීය. තම මෙහෙකරුගේ මෙහෙයටද මෙහෙකරුවෙකු ලබාදීමට කතා නායකයා උත්සුක වූ අතර, සියලු සැප සම්පත් මධ්‍යයේ සියල්ල සතුටින් ගලා ගිය සේම ඉන්ද්‍රජාල ශාලාවටද සෙනග ගලා ආවේය. ඔහු තමා වෙත යාන්ත්‍රණය නිමකොට දුන් ඉන්ද්‍රජාලයේ, කවරය සකසමින් සහ හැඩ කරමින් සිටියේය. යාන්ත්‍රණය පිටතට නොපෙනෙන ලෙස කවරගත කොට අවසන එහි රස වැඩි කිරීමට හැඩකිරීම් කල යුතුය. ඔහු දන්නා ඔහුගේ සමකාලීන ඉන්ද්‍රජාලිකයින් බොහෝමයක් සිය ඉන්ද්‍රජාලකරණයේ ඔහුට පසුපසින් වන්නට ප්‍රධානම හේතුවක් වූයේ ඔවුන්ගේ කවරය යෙදීම යම් දුර්වල මට්ටමක වූ නිසා එම යාන්තරණය දැනගැනීමට අනෙකුත් ඉන්ද්‍රජාලිකයන්ට පහසු වීමත්, බොහෝමයක් වුන්ගේ යාන්ත්‍රණය ප්‍රේක්ෂකයාට පවා හෙලි වීම නිසාත් මොහු පිලිබඳ ප්‍රසාදය වැඩි වීමය.

ඔහුගේ ජීවිතයද ඉන්ද්‍රජාල හේතුවෙන් නවමු මාවතකට ඇදී යමින් තිබූ කාලයකි. ඒ ඔහු සිය ඉන්ද්‍රජාල, හෝටල් තුල රඟවමින් තිබූ කාලයකි. ඔහුව ලබා ගැනීමට හෝටල්කරුවන් පොරකෑ අතර රාත්‍රී හත නවය කාල පරාසය හෝටල් වෙත විශාල ප්‍රේක්ෂක ප්‍රමානයක් ඇද්දවීමට සමත් විය. හෝටලය වෙත පිටින් ඇදී නො ආ, වටින් ගොඩින් එහෙන් මෙහෙන් බලා විශ්ම වන සොඳුරු මුහුණක් හේ සිත්ගත්තේය. සිය රංගනයේදී සිය ඉන්ද්‍රජාල යාන්ත්‍රනයේ විශ්මය එලිදැක්වීමට පෙර, ප්‍රෙක්ෂකයා සිය ඉන්ද්‍රජාලය කෙරේ උත්සුක කලද ඔහු සිය ආදරය ප්‍රකාශ කිරීමේදී ස්ථීරව සහ ස්ථාවරව තම කැමැත්ත ප්‍රකාෂ කිරීම සිදු කලේය. ඒ වටින් ගොඩින් බලා සිත් ගත් රුව හෝටල් හිමිකරුගේ දියණියගේ වූ අතර ඒ වෙනුවෙන් ප්‍රධානයක් ලෙස හෝටල් හිමිකරුට අයත් වූ විශාල ශාලාවක හේ සිය ඉන්ද්‍රජාල කටයුතු ආරම්භ කලේය. වෙන වෙනස් ශාලා, තම ඉන්ද්‍රජාල වෙනුවෙන් සකස් කිරීම සහ ඉවත් කිරීම කරදරකාරී සහ අනාරක්ෂිත විය. තම විවාහ දිවියේ සියලු රස, විඳිමින් සිය හැඩරුවම යුතු දියණියකගේ සුරතල්ද මැද ගෙවෙන සමයක සිය බිරිඳ නැවතත් ගැබ් ගෙන සිටියේය. ඒ හේතුවෙන් කතා නායකයාගේ සතුටක් එතරම් නොදැවුණු අතර අඩ දබර ගෙරවිලි රැවිලිද මැද කිසිඳු වැටීමකින් තොරව ඉන්ද්‍රජාලකරණය ඇදී ගියේය. පියාගේ නමට කතානායකයාගේ නම යෙදුනු උප්පැන්නයක් සමග තවත් දියණියක් මෙලොව එළිය දුටු අතර හද ගැස්ම වැඩි වූයේ සිය වලව් මෙහෙකරුගේ හඳුනාගැනීමේ සලකුණක් වූ පපුවේ දකුණු පැත්තේ පිහිටි උපන් ලපය සිය දියණියගේ එම ස්ථානයේම එයාකාරයෙන්ම තිබෙනු දැකීමත් සමගමය. තත්වය වඩාත් අයහපත් වූ අතර හේ එය යටපත් කිරීමට ඉන්ද්ය්‍රජාල කවරයක් යෙදවීමට සිත යෙදවුව මුත් එය අසාර්ථක වූ අතර ජනනය කල වුන් ඉවත් කරනවාද? ජනනය වූ දෙය ඉවත් කරනවාද? යන අවසන් විසඳුමක් සෙවීමෙහි එලබ සිට හේ අවසානයේ නිශ්චිත තීරණයක් ගෙන තිබිණ.

Wednesday, October 5, 2011

කැමරාවකින් පන්නරය ලදීමි.


අම්මාගේ සිත් සතුට වෙනුවෙන් බෙල්ලේ එල්ලාගෙන සිටි සුරය, මා ගලවා දැමීමි. බසයෙන් බසින විට එය බෙල්ලේ නොතිබූ බව මම ඇයට කිවූ අතර, එය බොරුවක් බව දැන දැනත් "තදට බැඳගන්න තිබුනනේ" යැයි කියා ඇය නිහඬ විය. සුරය මට හිසරදයක් විය. ඒ අනෙකක් නිසා නොව එය බැඳ තිබූ නූලේ වටප්‍රමානය වටා දුවමින් පවතින බැවිනි. කැමරාව බෙල්ලේ එල්ලා සිටින අතර, එය කැමරා පටියට තද වූ විට ඇතිවන වේදනාව මෙන්ම අවධානය ඉවත යාමද මා ඒ කෙරෙන් මිදීමට හේතුවක් විය. එවකට මා තරුණියන් දෙදෙනෙකු සමග පෙම්පලහිලව් ඇතිකරගෙන සිටි අතර කාලය විසින් මා හට වඩාත් සරිලන තරුණිය ඉස්මතු කොට තිබුණි. ඈ, මා බොහෝ සෙයින් තේරුම් ගෙන සිටි අතර, අප අතර වූ යම් යම් නොගැලපීම් වලට අප එක්ව පිළිතුරු සපයා ගනිමින් සිටි කාලයකි. හැකි වේලාවල මා අනෙක් තරුණියද මුණ ගැසීමට ගිය අතර ඈ හට සත්‍ය පැවසීමේ දෙගිඩියාවකින් මා ලතවෙමින් සිටියෙමි. එදින ඈ හට අලුත් මාතෘකාවක් විය. බාලිකා පාසලක උත්සවයක් ඡායාරූප ගත කිරීමට අහම්බෙන් ලැබුනු අවස්ථාව මා විසින් ප්‍රයෝජනයට ගැනීම ඇයට ප්‍රශ්නයක් විය. "ඔයා තවත් මෙහෙම තැන් වල පින්තූර ගන්න යනවනම් මට ඔයත් එක්ක ඉන්න බෑ." යනු ඇයගේ දෙලොවක් අතර ප්‍රකාශය විය. ඇයත් බාලිකා පාසලක උගත්තියක් වූවාය. ඒ සඳහා මා ඇස් උපයෝගී කොට ගෙන දුන් පිළිතුරෙන් පසු, නොසැනහුණු හුස්මක් පිට කල ඈ මා හැර ගියාය. මා ඇය ආපසු හැරී යනයුරු ඡායාරූප ගත කලෙමි. පසෙකින් පෙම් යුවලක්ද, අනෙක් පස සුරා සැලක්ද විය.


"අම්ම තාත්තගේ සල්ලි නාස්ති කරන්නෙපා. මෙව්වා අරං දෙනවට අම්මා තාත්තටයි ගහන්න ඕනා." ඒ දිනක් මා කැමරාවක් ගෙලෙහි ලා මාවතක ඇවිද යනු දුටු පිය පාර්ෂවයෙන් ඥාති ස්ත්‍රියක් කී කතාවකි. මා කැමරාවට ආදරය කරන තරමටම පියා ඒ වෙනුවෙන් සතුටු වන අතර, සැමදා මා නිශ්චල කරන ලද රූ රැගෙන ආ පසු ඒ දෙස බලා සිටින අම්මා කාමරයෙන් පිට වන්නේ සතුටු කඳුලකින් නෙත් සරසාගෙනය. මා ඒ ඥාතිවරිය ආශ්‍රයෙන් ඉවත් කර දැමුවෙමි. මාගේ පෙම්වතිය මවිසින් පලමු වරට දුටුවේ භක්ති ගීත තරඟයකිනි. මා එම උත්සවයේ ඡායාරූප ශිල්පියාව සිටි අතර, ඈ ඉදිරිපෙල ගායිකාවක් විය. උත්සවය අවසන තරුණයෙකුගේ කටින් පිටවූ "කැමතිද?" යන්නට, තරුණිය "හා" යැයි පවසා තිබිණි. ඉන් තුටුවූ මා උත්සවයෙන් මා හට ලැබීමට නියමිතව තිබූ මුත් නොලැබුනු ගෙවීම වෙනුවෙන්ද තර්ක නොකර ගෙදර ආමි. ඒ වන විටද පෙම්වතියක් මා ජීවිතයේ සිටි අතර, ඇයගෙත් මගෙත් නොගැලපීම මතු දිනයක කැමරාව විසින් පහදනු ඇතැයි මා කිසිවිටකත් නොසිතුවෙමි. මා උසස් පෙළ ගණිත අංශයෙන් අසමත් විය. දෙමව්පියන් ඒ සම්බන්ධයෙන් තැවුණු අතර, "දැන් මොකද්ද කරන්න හිතුවේ?" ඔවුන්ගෙන් මා වෙත එල්ල වූ ප්‍රශ්නය විය. මගේ මුවින් පිලිතුරක් නිකුත් වූ අතර වැඩිමනත් නොහිතා එයට හිස සැලූ ඔවුන් මගේ උසස් අධ්‍යාපනය සඳහා වෙන්කර තිබූ මුදලින් මාගේ කැමරාවක අවශ්‍යතාව සපිරවීය. මාගේ පලමු ඡායාරූපය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය සතුටුදායක වූ අතර, ගතවන දිනයක් පාසා මේ මොහොත තෙක් ඡායාරූපකරණයෙහි නව මානයක් සොයා ගැනීමෙහි මා නිරතව සිටියි. මීලඟ ඡායාරූප දස දහස තුල හෝ එම අරමුණ ඉටු කරගැනීමේ කාර්‍‍යයේ මා වෙහෙසෙමින් සිටිමි.

ෆෝකසින් මෝටරය ක්‍රියාකරන ශබ්දයෙහි දෙසවන් ගැලී ඇත. ඡායාරූපය තුල අවධානය රඳවා ගැනීමට එම අනවරත ශබ්ධය අතිශය පහසුවකි. මා ඡායාරූපයක ආලෝකය පිලිබඳ ප්‍රශ්නයකට මැදිව සිටි
යෙමි. ප්‍රශ්නය පසෙකලා ඊට අදාල ක්ෂේත්‍රයේම වෙනත් දෙසකට සිත යොමු කිරීම ප්‍රශ්නයට පිළිතුරක් ගෙන දේ යැයි විශ්වාස කිරීම මා කුඩා කල සිටම මවෙතින් සිදුවුනකි. මා මෙතෙක් දැක ඇති මතකයේ බැඳුනු ඡායාරූප දෙසට සිත යොමු කලෙමි. අතිශය විශාල ගසක් අභියස කුඩා ලමුන් කිහිප දෙනෙක් විය. ඔවුන් ඒ සෙවනේ කෙලිදෙලෙන් සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව තිබිණි. ඡායාරූපයේ මාතෘකා "තාත්තා" විය. තවද, රෝහල් ඇඳක් මත සුදු රෙද්දකින් ආවරණය වූ දෙපා සහිතව, නිරාවරණය වූ යටි පතුල් වල ඡායාරූපයක් විය. එය ඇඳ මට්ටමින් පාදාන්තයේ සිට ගත් ඡායාරූපයකි. නිරාවරණය වූ රෝස පැහැති කුඩා යටි පතුල් වල ඉහල කෙලවරේ මහපටැඟිලි සුදු හුයකින් ගැට ගසා තිබුනතර රූපයේ මාතෘකාව "ඩෙංගු" නම් විය. තවද මූට්ටු කරන ලද ලෑලි අතර පරතරය බොහෝ වැඩි මේසයක් මත, කුප්පි ලාම්පුවක් දල්වා ගෙන පාඩමේ නිරත වන ලමයෙකුගේ රුවකි. ලාම්පු එලියෙන් ඡායාරූපයට කැපී පෙනුනේ වරිච්චි බිත්තියකි. ලමයාගේ මුහුනෙන් බාගයකටද එලිය වැටී තිබුනතර, ඔහුගේ නිකටේ රැඳී තිබුනේ දහඩිය බිඳකි. ඡායාරූපයේ නම "CFL" විය. මා හට අවශ්‍ය පිලිතුර සිහියට ආ අතර, එහාට මෙහාට මනාසේ හැරවිය හැකි විදුලි ලාම්පුවක් මාගේ ආලෝකකරණ ප්‍රශ්නය විසඳීය.

කැමරාව හේතුකොට ගෙන එයට හිතැති සහ උනන්දු බොහෝ මිතුරු පිරිසක් ආශ්‍රයට ලැබුනු නමුත් ඔවුන් බොහෝමයකගේම සියල්ල ඒ වෙතම නොවීය. එයට හේතු ලෙස ඔවුනට පවුල, රැකියාව, තත්වය, ප්‍රේමය යනාදී බොහෝ දේ වූ අතර, ඔවුන් තමන්ගේම හෝ මින්පෙර වූවෙකුගේ යම් ආකෘතියක් තුල ඡායාරූපකණය සිටුවා තැබීය. තමන්ගේ ආකෘතියක් තුල පවා සැරි සැරීමේ නිදහසක් ඔවුන්ට හමු නොවූ අතර ඒ සඳහා කාලයක්ද ඔවුන්ට නොවීය. තවමත් මාගේම වූ ආකෘතීන් බිඳිමින් ඡායාරූපකරණය වෙහෙසවන, මා පියාගේ මුදලින් යැපෙන අතර අනෙකුන් විවිධ වූ රැකියා වල නිරත වෙමින් සිටියහ. ඔවුන් ආර්ථිකමය අතින් මා හට ඉදිරියෙන් වූ අතර ඡායාරූපකරණයට මා වෙතින් ඇති ආශාවම ඔවුනට ඊර්ෂ්‍යා කිරීමේ සහ ආර්ථිකමයව ඔවුන් අභිභවා යාමේ ආශාවේ අවධානමෙන් මා මිදවීය. සමහරවිට මෙය ඔබේ අතීත කතාව විය හැක. නොඑසේනම් අනාගතයේ මෙය විඳීමේ නොතිත් ආශාවකින් ඔබ පෙලෙනවා විය හැක. මා ජීවිතයේ බොහෝමයක් කඩයිම් කැමරාව තුලින් දිනා ඇත්තෙමි. එන්න! මේ ඉන්ද්‍රජාලිකය ස්පර්ෂ කර බලන්න. ඔබ තුල ඇති ආශාව මතින් නැගී එය ඔබව වසඟයට ගනු ඇත. වරදන්න.. හදාගන්න.. ගොඩනැගෙන්න.. ඔබගේ වටිනාකම තීරණය කරන්න.

Wednesday, September 28, 2011

ටොපිය

මේක පොඩි කතාවක්. හරියටම කිව්වොත් ටැබ්ලොයිඩ් වල කවරයේ කතාව කියලා ඉස්සරහා පිටුවේ පින්තූරය විස්තර කිරීමක්. මේ ටොපියේ කවරයේ කතාව. ඒකට ටොපියේ කවරය බලලා ඉන්න වෙනවා මුලින්.
මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන උන් මේක කියවන්න. එතකොට මටත් වෙනස් දෙයක් උන්ගෙන් දැනගන්න පුලුවන් වගේම, මම කියන දේත් උන් වෙනස්ම විදිහකට හිතාවි. එනිසා ඒ රූප දෙක මට අනුව ආරාධනාවක්. මේකේ නම ටොපිය උනේ නිකංම. ඒකට හේතුවක් නෑ. හැබැයි පහු කාලෙක ටොපිය කියන එකට අරුතක් සහ හේතුවක් ගොඩනගන්න මට ඕන උනා. ඒක තමයි ඔය හෙඩරයේ උඩින්ම තියෙන වචනය, TOPඊයඃ!. ටොප්+ඊයඃ, ටොප් එක, උඩ, මුල එහෙමත් නැත්තං ආරම්භය ඊයඃ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි "හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". මේ උදාහරණේ කියවපු ගමන් ඔලුවට එන කුණුහරුප හැඟීමෙන් නියෝගයක් කරන්නේ ගෑනුන්ට විතරක් කියලා කියවන උඹලට හිතුනට, මේක අර්ථයෙන් විතරක් ගත්තොත් පිරිමින්ටත් පොදුයි. එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා. මනුස්සයෝ වශයෙන් එහෙම දේවල් නොකරම ඉන්න බෑ. එනිසා පුලුවන් තරමකින් අඩු කරගන්න බලන්න වෙනවා. බ්ලොග් වලදිත් ඒ දේ එමමයි.

ටොපිය ලියන්නේ මම උනාට මේකේ තනිකරම ලියවෙන්නේ මගේ කතාම විතරක් නෙමෙයි. නිකමට හිතෙනා.. සවනට වැටෙනා.. දෑසින් දකිනා.. මවිසින් විඳිනා.. බොහෝවිට ඒ උඹලගේ සහ තවත් මිනිස්සුන්ගේ කතා. ඒත් ඒවයින් සමහරෙකගේ කතා වල මම මුල් වෙලා කතාව ලියවෙන කොට කමෙන්ට් වලින් දැණගන්න ලැබිච්ච දේ තමයි උඹලා ඒ කතාව මගේ ජීවිතේට ආදේශ කරගෙන කියවන එක. ඒකෙත් අවුලක් නෑ. ඒත් එහෙම සිද්ධියක් හරියට තේරුම් ගන්න ඒ ක්‍රමේ එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා කවුරු ලියපු කාගේ කතාවක උනත් ප්‍රධාන චරිතය යොදාගන්න ඩමියක් තමුන් විසින් හිත ඇතුලේ දාගන්න. උදාසීන මිනිස් ඇඟක්. දැන් උඹලට පුලුවන්, ඒ ඒ කතාවෙන් එලියට එන ගතිගුණ එක්ක අර චරිතාංග අර ඇඟට ඔබ්බගන්න. එතකොට මගේ හෝ වෙනින් ඕනම ලියන්නෙක්ගේ චරිතත් එක්ක උඹලා හිතේ ගොඩදාගන්න කතාව පැටලවීමක් වෙන්නේ නෑ.
මේ මම පටන් ගත්තු තුන්වෙනි බ්ලොග් එක. පලවෙනි එක 2008 අවුරුද්දේ අග අමුතු නමකින් පටන් ගැනුනත් දැන් ඒක නෑ. දෙවැන්න දැනට වේලෙමින් පවතින දේෂපාලණික බ්ලොගක්. ඒ කාලෙට වඩා මම ලියපු විදිය හුඟක් වෙනස් වෙලා. ඒකට හේතුවම මම එන්න එන්නම කියවපු දේවල් වෙනස් වෙලා. ඒ කාලේ තෝරාගත් පොත් ටිකක් කියවපු මම, දැන් හුඟක් පැති වල පොත් කියවනවා. ඒකට ඇත්තට ස්තූති වෙන්න ඕන මට බ්ලොග් වලින් හම්බෙච්ච යාලුවොන්ට. ඒ වටින යාලුකං හදලා දීපු නිසාම ටොපිය මට හුඟක් වටිනවා.

අවුරුදු දෙකකුත් මාස දෙකකට එහා පැත්තේ ලියලා, අදට ටොපියේ ලිපි සියයක් තියෙනවා.

Wednesday, September 14, 2011

පෝ දින සාකච්ඡා


අද දින මේ වාහිණිය ඇවිල්ලා මේ ගමේ සජීවීව කරන මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව ශ්‍රවනය කරන්න ආපු පිංවතුන්ව පිංවතියන්ව අපි බැති සිතින් පිලිගන්නවා. එසේනම් මා නමස්කාර පූර්වකව මයික්‍රෆෝනය භාර කරනවා අති පූජ්‍ය බඹරැන්දේ සුමනසාර නාහිමිපානන්ට අප ඔබ සැම තිසරණ සහිත පංච සීලයේ පිහිටුවීමට.

ස්.. සා.. ධූ... උපාසකම්මා දන්නවද අද හුඟක් උන් මෙතන ටැක් ගැහිලා ඉන්නේ බණකට දහමකට ආසාවකට නෙමෙයි. ටීවී එකේ මූන පෙන්න ගන්නනේ.

නොදකින්වත් මුං... මං අහගෙන සමහරක් කතාවෙනවා අද දවල් දානේ හුඟක් හොඳ තැනකින් කියලත්. ඇත්තටම උඹට ආරංචියක් නැද්ද උපාසකම්මේ කොහෙන්ද කියලා?

ඔය මහ හෝටලේකින් කියන්නේ. බත් පාර්සල්ලු දෙන්නේ. මං ලොකු කෙලීට කියලමයි ආවේ දවාලට මෙහාට වරෙන් පුලුවන් උනොත් තව පාර්සලයක් අරන් දෙන්නං කියලා.

නොලැබෙන දේ පසුපස එලවීමත්
ලැබෙන දෙයට සීමා නැති වීමත්
අන්සතු දේ නොකියා ඩැහැගැනුමත්
පව් පුරවයි මනු දිවියට කවදත්

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

******************************************************

ආන් දැක්කැයි අද ජිනසීලී තනියෙං..

හ්ම්ම්ම්... මාත් අහන්නමයි හිටියේ. හැබෑටම කෝ රත්නවතී..

දන්නැතෙයි, උන්ගේ ලමයි පිටරට වල අරාබිකාරයොන්ට කඹුරලා කඹුරලා අම්මට ගෙනත් දීලා නෙව මහ විසාල ටීවී, රේඩියෝ. ඒ මදිවට හාමුදුරුවන්ගේ බණ තියෙන ටේප් රාසියක් ගෙනල්ලලු. මහ උන්දෑ දැන් ඒකෙන් බණ අහන්නේ. බිම ඉඳගන්න අමාරුයි කියලලුනේ ඒ අම්මණ්ඩි ගෙදරට වෙලා ඉන්නේ.

හැබෑටම නාකි වෙන්ඩ වෙන්ඩ මුංගේ මල කෝලං..
කොහෙදෑ හැබෑටම ඒ අම්මණ්ඩිගේ ලමයි ඉන්නවා කියන්නේ.

ඔය අරාබිකරේලු. බැංකුවක කියලා තමයි කියන්නේ. ඒ වුනාට අහල පහල නං කතා වෙන්නේ ඕකුන් ගෙවල් වල වැඩ කරනවය කියලයි.

කවුරු දන්නවද නංගියේ..

හැබැයි එකත් එකටම මෙහෙදි හරියට වැඩක් පලක් කරපු නැති උන්ව එහේ හොඳ රස්සා වලට ගනීවියැ. සමහර විට බැංකුවල උනත් හෝදන කරන වැඩ වෙන්නැති. රත්නවතී උඩ දාගෙන කියෙව්වට.


අනුන් ඇසෙහි රොඩු කුණු අවුලන්නේ
තමන් ඇසෙහි පොල් අතු නෑ දන්නේ
පිහාටුවක් පක්ෂි රැලක් කරන්නේ
පවක් කියා දුදනෝ නෑ දන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...


******************************************************

හප්පේ දවාලෙ භෝජනේ නං පංකාදු පහයි.ඉස්මුරුත්තෙට එනකංම කෑවා. භාවනා වැඩසටහන වෙලාවේ සනීපෙට දෙහෝරාවක් විතර ඇහැත් පියවුනා ඕං. ඈ උපාසකම්මේ ඔහේගේ ඇහැ පියවුන්නැතෙයි?

කොහෙ පියවෙන්නද උපාසකම්මේ.. මේ ගැටිස්සියොන්ගේ සිරික්කිය දැකලා මට මාරයාවේස වෙලා උන්නේ..

අර මක්කෙයි... අපරාදේ මමගේ ඇහැ පියවුනේ නැත්තං..

හ්ම්ම්... දහම් පාසලේ කොල්ලෝ කෙල්ලෝ ටිකටත් දැන් මනමාල විසේ ඔලුවට ගහගෙන එනවා.
අඩු තරමේ සීල වියාපාරේ දවසටවත් මුං හැදෙන්න දැනගන්නෝන්නැද්ද මං අහන්නෙ?
එහෙං සිරික්කි.. මෙහෙන් සිරික්කි.. අර ගුණපාලයගේ ලොකු කෙලී මං දැක්කා අර සමන් කොලුවගේ පිටටත් ගහනවා

සමන් කොලුවා කිව්වේ?

අර ඉන්ද්‍රසිරියගේ මද්දුමයා. ඌ නං අහිංසකයා.

අහිංසක හොඳ අහිංසක. අප්පා වගේම නැතෑ පුතත්.
අපේ අල්ලපු වැටනේ ඕං. මම නොදන්නවැයි ඕකුන්ගේ කැරැට්ටුව. මහම මහ කුම්මැහියෙක්. උදේකට දැක්කොත් දවසම ඉවරයි.
එදා අපේ මද්දුමී අරාබි යන වැඩේ හබක් වුනෙත් ඕකුංගෙන් මොකෙක්හරි එකෙක් මුලිච්චි වෙලාම තමා මූනට... නෙද්දකින්වත් තුඃ!
අපේ ගහේ කොස් ගෙඩිය හොරාට කඩාගන්නවා.
තව කරන තරමක් තුච්ඡ වැඩ කරලා බබ්බු වගේ ඉන්න හැටි.
මං විස්තරේ නොකිව්වනං උඹ එහෙම හිතන්නෙත් නැහැනොව නංගියේ..
ඕකුංගේ කවරේනං සුදුයි..

වෛරෙට වෛරය නෑ යටවෙන්නේ
එරවිලි ගැරහිලි නෑ සැපදෙන්නේ
කියන කියුම් නිසි ලෙස හිතපන්නේ
බිඳෙන සිතක් නෑ සුවපත් වන්නේ

ස් සා ධූ.. ස්ස් සා ධූ.. ස්ස්ස් සා ධූ...

හම්මේ යාන්තං පවාරණේට තව හෝරාවයි..