මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Tuesday, July 6, 2010

දෙබස

........
ඈ: කොන්ඩේ කැටි ගැහිලා.නාගන්න තිබ්බානං!

මා: ඔය දවසට නාන්න එපා!

ඈ: ආ. . .!

මා: ආ. . . තමයි.ඇඟ සීතල උනාම හොඳ නෑ.යන එක නවතියි.

ඈ: පණ්ඩිතයා

මා: පණ්ඩිතකමක් නෙමෙයි.දවස් තුනයිනේ ඉවසලා ඉන්න.

ඈ: දන්න දේවල්.. .

මා: එහෙම තමයි!

ඈ: කොහොමද ඔච්චර දන්නේ ?

මා: පොත් කියවලා (ඉඟි මරමින්)

ඈ: පොත්? කීයක්ද?? (දෙතොලග සිනහවක්)

මා: ගොඩක්! පුස්තකාලයක්ම

ඈ: හ්ම්ම්ම්... දැන් කියවන්නේ මොකද්ද?

මා: මගේම පොතක්. ..කියවන්නෙත් මම ම විතරයි
මගේම විතරයි. පුස්තකාල පොත් වගේ නෙමෙයි.

ඈ: පොතත් එහෙමයි.
වෙන කට්ටියට කියවන්න බෑ.

මා: අහලා නැද්ද ශ්ලෝකේ ??

ඈ: අහ්. . . මොන?

මා: ස්ත්‍රී රත්නං
පුස්තක රත්නං
පරහස්ත ගතං
ගතං ගතං

ඈ: තේරුම?

මා: ගැහැනුන් මෙන්ම පොත් අන් අය අතට පත් උනොත් ආපහු ලැබීමක් නෑ!

Thursday, July 1, 2010

කපුටොත් ආදරෙයි

පැය කාලක් විතර තිස්සේ මිලාගිරියේ ඉඳන් අද්ද අද්ද ආපු කකුලත් එක්කම බස් හෝල්ට් එකට රිංගුවේ වැල්ලවත්තේ ෆ්ලැට්ස් ඉස්සරහා ගස් වල කපුටොන්ට බඩේ අමාරුව හින්දා.

අහ්. . වැඩේට හරියනම මිනිහා!

බස් හෝල්ට් එක යට ඉඳන්ම මගේ අලුත ගත්තු සැන්ඩ්ල්ස් කුට්ටමේ වම් පතුල දික්කරේ එතනට ගියානං ඔලුවට බෙටි පූජාව වැටේවි කියලා හිතපු නිසා.මැද්දෙන් මැද්දෙන් කහට පිරිච්ච දත් ටික එලියට දාලා අවංක මුහුනකින් හිනා වුනේ ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් එකේ ෆ්ලේවියස් සහ මැරලස් ට සපත්තු මහන්නා දීපු උත්තරේ මගේ ඔලුවට ඔබ්බන ගමන්.

ෆ්ලේවියස්: මොකද්ද තොගේ රස්සාව ගොනෝ?
මොකද්ද උඹ කරන රස්සාව නිකමෝ?

සපත්තු මහන්නා: අනේ මං එක්ක කේන්ති ගන්නෙපා මහත්තයෝ.
හැබැයි මහත්තයා හරි සවුත්තු උනොත් මට හදන්න පුලුවන්.

මැරලස්: මාව හදන්න ජඩයෝ.තෝ මොකාටද එන්ඩ හදන්නේ?

සපත්තු මහන්නා: මහත්තයාගේ සපත්තු සවුත්තු උනොත් මට ඒවා මහලා දුන්නැහැකි.


මමත් කවදාහරි ඩිග්‍රියක් ගන්න ඉන්න එකෙක්! ෂික්! ඔය හිතුවිල්ල හිතට ඇවිත් පපු කැනැත්තටම ගහන්න මට ඕන උනේ ඒ අහින්සක මනුස්සයගේ හිනාවයි, මට මගේ වම් පතුල ගලවලා දික්කරන්න ගිය වෙලාවයි විතරයි!
ටික වෙලාවකින් ගාලු පාරේ ජනාකීර්ණම නගරයක් මැද්දේ හිත හෙල්ලුම් කාලා තිබ්බ නිහැඬියාව බින්දේ මනුස්සයාමයි.

මහත්තයා පන්ති යන ගමන්ද? හදිස්සිද?

අපෝ නෑ අයියේ. . . මේ වැඩ ඔක්කෝම ඉවර කරගෙන ගෙදර යන ගමන්. තකහනියක් මේ හෝල්ට් එක පයින් එන්න උනේ මේක හින්දා. දැන් එව්වැයේ කිසිම කොලිටියක් නෑ.

මොකේ කියලවත් කොලිටියක් තියෙනවද මහත්තයෝ. හැබැයි අපිට තමයි වාසි. දැන් මිනිස්සු අලුත්වා ගන්නෑ. පරන එකම හදෝනවා.

කකුල දෙදුරුම් කාගෙන ෆෝන් එක රිං උනේ, මගේ ගෑනිගෙන් වෙන්නැතියි කියලා හිතලා අතට අරගෙන බලනකොට මගේ හිතට හිනහ ගියේ මට කෝල් එක එන්නේ "ආදරේ" කියන කන්ටෑක්ට් එකෙන් නිසා. ලලිත් අයියා පතුල මහනකං මම ආන්සර් කලේ එයාට ලෙක්චර් ඉවර ඇති කියල හිතිච්ච නිසා.විනාඩි දෙකෙන් ඕන කරන ඔව් නෑ බෑ උත්තර ටික කියලා ෆෝන් එක තිබ්බේ ලලිත් අයියා සපත්තුව මහලා ඉවර වෙන්න ලං වෙලා නිසා.

මං ලලිත්.

කෝල් එකට කලින් මම නම අහපු වෙලේ මනුස්සයා මට කිව්වේ එහෙමයි.මම ඔක්කොම ඉවර කරලා බලද්දි මනුස්සයා චැරියට් එකෙන් ගත්තු සමෝසා එකක් කනවා.

කපුටොන්ගෙන් කරදරයක් නැද්ද අයියේ. .

ඇයි මහත්තයෝ ඒ ?? පුදුමෙන් වගේ මං දිහා බැලුවේ තොල උඩ නැවතිච්ච සමෝසා කෑල්ලක් දිවෙන් ඇතුලට වට්ට ගන්න ගමන්.

නෑ ඉතින් කුඩයක්වත් ඉහලගෙන නැති නිසා.මෙතන වටේම කාක් බෙටි නේ.අනික කනකොට වත් ලඟට එන්නේ නැද්ද?

මුං දන්නවා මහත්තයෝ මාත් නැති බැරි එකා කියලා.විස්සක් ඇති. . සල්ලිත් ගන්න ගමන්
අනික මුන් මට ආදරෙයිනේ. මේං උන්ගේ පංගුව. කියලා මට තවත් චැරියට් බෑග් එහෙක සමෝසාවක් පෙන්නුවේ එක හිතුවිල්ලක් දෙදුරුං කවන ගමන්!

කපුටොත් ආදරෙයි.

"චස්" ගාලා ආපු සද්දෙත් එක්ක, එහා පැත්තෙන් මොනර නිලට හුරු සාරියක් ඇඳන් ගිය ගෑනියෙක් වාතවෙවී ගියේ කපුටු වර්චසයක් නිසා කියල හිතිච්cඉ මට උඩ බැලුනම තේරුනේ මමත් දැන් පැය කාලක් විතර තිස්සේ ඉඳලා තියෙන්නේ ආවරනය නොවී විත්තිය.

කපුටොත් මරු ජාතිය!

Tuesday, June 22, 2010

ලඳුන් මැද "ඔ"යන්න "බ"යන්න

පහුගිය කාලෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම හරියටම කිව්වොත් ඉවර උනේ ඊයේ. මගේ කම්පියුටරේ මාසයක් තිස්සේ මගේ ගාව නැතුව තිබුනා.එක ෆෝන් එකක් කැඩුනා.ප්‍රොජෙක්ට් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, එක්සෑම් ප්‍රශ්න වගේ ප්‍රශ්න අස්සේ වෙනින් එවුන්ට මුලින්ම කියවෙන ලව් එකේ ප්‍රශ්නේ විතරක් මට තිබුනේ නෑ. ඒකට මගේ ගෑණිට පිං. මගේ ගෑණිගේ තාත්තගේ ඔපරේෂන් එක ඊයෙයි කරලා ඉවර උනේ. ඒකත් සාර්ථක නිසා දැන් ඔලුව නිදහස්. ලියන්න අදහසකුත් නැතුව මොලේ අල වෙලා ඉන්නකොට මං වෙනුවෙන් මෙච්චර මෙහෙව් කැපකිරීම් කරපු ගෑණි ගැන ලියන්න හිතුනා. මට උඩින් කඩා පාත් වෙච්ච පාඨක පිරිසක් නෑ. මට ඉන්නේ යාලුවෝ ටිකක් විතරයි. මාසයක් විතර තිස්සේ නෙට් එකේ සද්ද නැතුව හිටපු මම ගැන හෙව්ව උඹලට පිං. ගෑණි ගැන කතාවක් ලියන එක දිග වැඩි හින්දා ලියන්නම් කවියක්!

සපිරිවර ලඳුන් මැද ඔබ දුටුවේයා
කුළුනු ගුණෙන් පිරි මුහුනට සිත්වූයා
මෙතෙකැයි කියා නොගිනි ලඳුන් මට වීයා
එනමුදු වදන් නොමැතිව සිත ස්ටක් වූයා

කලුවට දිගට මහතට ගෙතූ කොන්ඩයෙනී
දත් පොඩි පෙලින් පිරිපුන් ඒ සිනහයෙනී
මිටට ගත හැකිවූ උකුලට ප්‍රියාවෙනී
අඩුවක් නොමැති කමටම හිත පිනායෙනී

වරදක් කල කලට උරහිස ඇදුම් කතී
ලැජ්ජා සිතුනු විට හෘදය විකා යතී
ආදර පිරී විටදී කට කොන හපා කතී
ඒ මද රිදුමකට මම කෑදරෙන් වෙතී

හිරට කොටට නැති ලේසිය විළි වහනා
කන බිම නොඇදෙන්න අබරණ එල්ලන්නා
තද රතු නැතුව රෝසට තොල හැපවෙන්නා
මේකප් නොමැති දුඹුරට සිත ඈඳෙන්නා

දහසක් වැරදි ඇති මට වූ ආදරෙනී
"බබා" "ස්වීට්" නැති ආදර ඇමතුමෙනී
ලෙහෙසි පහසු ජීවිතයට ප්‍රියාවෙනී
"මගේ ආදරේ" හට සිත පිරි ආදරෙනී

ලඟට ගෙන බදන්නට සිත ආසාය
කවියට දෙකට ඔබ ගැන ගුණ දෙනු බෑ ය
හමු වුනු විටක දෙන්නට තව ඇතිවාය
ඔබට සම වෙන්න වෙන කෙනෙකුට බෑ ය

Tuesday, June 1, 2010

බූරු කුට්ටමේ බණ

අද කියන්න යන්නේ ජන කතාවක්.කතාව ආතල් නිසාත් හුඟ කාලෙකට කලින් මම අහලා තිබුනු නිසාත් කතාව ඕගොල්ලොන්ටත් කියන්න හිතුනා.මේක කියවන කතාව කලින් අහපු කට්ටිය ඉන්නවානං සොරී වෙන්න ඕන.

එක ගමක හිටියා උපාසක මහත්තයෙක්.හතර පෝයටම සිල් ගත්ත ඒ උපාසක මහත්තයට බණ දහම් ගැන පුදුම දැණුමක් තිබුනා.

මේ උපාසක මහත්තයාගේ පොඩි අඩුපාඩුවකට තිබුනේ සූදුවට තිබුණ් ගිජුකම විතරයි.ඒත් ගමේ හරි ලඟපාත හරි සූදුවට යන්නේ නෑ.කවදාවත් පොලීසියට අහුවෙලත් නෑ.දිනුවත් එකයි පැරදුනත් එකයි.කොහොමහරි ගමේ මිනිස්සු මේක දැනගෙන හිටියේ නෑ.එක දවසක් ඈත ගමක සූදුවට ගිය වෙලාවේ සූදු පොල්‍ර හිටිය අනිත් අයත් එක්ක උපාසක මහත්තයත් පොලීසියට අහුවුනා.පොලීසියේ ලොක්කා හරි සැරයි.කාටවත් ඇප දුන්නෙත් නෑ.

එදා හැන්දෑවේ කූඩුවේ හිටිය බූරු නඩේ එලියට අරගෙන "උඹලා බූරුවා ගැහුවා නේද?" කියලා ඇහුවා.අනිත් අය කතා කරන්න කලින් "අනේ නැහැ ආයිබෝවන්ඩ මම බණ කිව්වා, මේගොල්ලෝ බණ අහගෙන හිටියා.මේ රාළහාමිලා අපිව අල්ලගෙන ඇවිත් කූඩුවට දැම්මා." කියනකොට සූදු කාරයෝ මූණට මූණ බලාගත්තා.

මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා ලොක්කගේ හැටි..සූදුව අල්ලපු රාළහාමිලා කිව්වා මේගොල්ලෝ සූදු කෙලියා කියලා."නෑ මේ අය වටේ තියාගෙන මම බණ කිව්වා.අපි වරදක් කරලා නැහැ." කියලා උපාසක මහත්තයා කියනකොටම රාළහාමි කෙනෙක් බූරු කුට්ටම ලොකු මහත්තයා අතට දුන්නා."ඔව් අයිබෝවං ඕකෙන් තමයි බණ කිව්වේ" කියලා උපාසක මහත්තයා කිව්වා.කියනකොට පොලීසියේ ලොක්කා "හොඳයි උඹේ බණ ආයිත් කියපං."කිව්වා.උපාසක තැන කට්ටියම බිම ඉඳවලා සාදුකාරයක් දෙන්න කිව්වා.ඊළඟට නමස්කාරය දෙන්න කිව්වා.එහෙම කියලා පන්සිල් දීලා මේ ගාථාව කිව්වා.

ආසි හේරෝ පොරෝ ලංචැ - බූරූ දහයේ නමේ අටඃ
හතේ හයේ පහං චෙයිය - හතරේ තුනේ දෙකේ කොලඃ
ඊළඟට කොල ගොඩේ ආසි හතර පෙන්වමින් "මේ වනාහී පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය යන හතර මහා ද්වීපයයි." ඊඑට පස්සේ හේරුන් හතර දෙනා පෙන්වමින් "ඒ දීප හතරේ රජකම් කරපු රජවරුන් හතර දෙනා මේ තමා.ඒ රජවරුන්ගේ අග බිසෝවුන් හතර දෙනා බලාගන්න" කියලා කුට්ටමේ පොරොව හතර අරගෙන පෙන්නුවා."හතර මහා රජවරුන්ට පුරෝහිත කම් කරන්නේ මේ හතර දෙනා" කියලා බූරු කොල හතර ඉදිරිපත් කලා.දහය කොලෙන් දස රාජ ධර්මයත් නවයේ කොලෙන් නව අරහාදී බුදු ගුණත් අට සිල් අටේ කොලෙනුත් හතේ කොලෙන් සත් සතියත් මේ විදිහට ඉදිරිපත් කලා.උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර උඩ යට සදිසාවන්ට අරක්ගත් ගුරු දෙමාපිය හිතමිතුරන්ට වැඳුම් පිදුම් ගරු සත්කාර කරමින් පන්සිල් රකිමින් මේ සතර මහාද්වීප වැසියෝ සාමයෙන් හා සතුටෙන් විසූ බව කියමින් හයේ පහේ කොල පෙන්නුවා.හතරේ කොලයෙන් එම රජුන්ට හා රට වැස්සන්ට සෙත් පතන සතර වරම් දෙවියනුත් තුන්තරා බෝධිය තුනේ කොලෙනුත් දෙදෙව් ලොවට අධිපති සක් දෙවියන් දෙකේ කොලෙනුත් පැහැදිලි වන්නේ යැයි" කියනකොට අහගෙන හිටිය පිරිස මහ හයියෙන් සාදුකාර දෙන්න උනා.

ඊට පස්සේ වෙච්ච දේවල් බොරුවට කියලා වැඩක් නෑනේ.හැම ජනකතාවකටම සුපුරුදු පරිදි ඒගොල්ලෝ සාමයෙන් සතුටෙන් ජීවත් උනාලු.

Monday, May 10, 2010

පුංචි විසි දෙකේ මං

මේක ටිකක් පහු වෙලා දැම්මා උනත් මේක දාන්නේ පහුගිය අප්‍රේල් තිස් වෙනිදට ලබපු මගේ විසි දෙවෙනි උපන්දිනේ නිමිත්තෙන්.හොඳ වෙලාවට අප්‍රේල් තිහ ඉපදුනේ.බැරිවෙලාවත් මැයි පලවෙනදා ඉපදුනානං මටත් ඉපදෙන්න වෙන්නේ "ලෝක වාසී කාන්තාවන්ගේ ශෝක දිනය" දවසෙයි.ඒක ශෝක දිනය වෙන්න හේතුව දැනගන්න "මැයි පලවනදා" අනිත් පැත්ත හරවලා බලන්නකෝ.සහෝදරියෝ ටික කේන්ති ගන්න එපෝ.කේන්ති යන්නත් එක්ක කියවන්නකෝ මේක.

සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ

ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න

සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට

මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා

සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී

අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා

Monday, April 26, 2010

වායු"හුඃ"මීකරනය

මේකට පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරන්න උනා.ඒ ගැන සමාවෙන්න.
මේක හුඟාක් කාලෙකට කලින් මම පොතක ලියපු සිද්ධියක්.මම හිතන්නේ අවුරුද්දකට විතර කලින්.මේ සිද්ධිය මම කම්මැලි කමට නිකන් පොතක ලිව්වේ.තද පැහැයෙන් ලියපුවා පලකරන අවස්ථාවේ එක් කරන ලද ඒවා බව කරුණාවෙන් සලකන්න.කතාව ටිකක් දිගයි!

අද කියන්න යන්නේ මට මෙතුවක් කලක් සිදු වුනු,දැනුත් සිදුවෙන, ඉදිරියටත් සිදුවේ යැයි බලාපොරොත්තු වෙන ලොකු අසාධාරණයක් ගැනයි.

වේලාව: දහවල අහාරයෙන් පසු
ස්ථානය: නිකන් ඉන්න බැරි මෝඩයෝ
අවස්ථාව: ලෙක්චර්ස්

ලෙක්චර් එක කරන්නේ "කොලොම්බා" ලෙස අන්වර්ථ නාම ලත් ගුරුවරයෙකි.දැනට ආයතනයෙන් විශ්‍රාම ගොස් තවමත් සිසුන්ට උගන්වන්නෙක්.සමහරුනට ඔහු කොලොම්බා වන්නේ ඔහුගේ නාමයෙන් බිඳී ආ දෙයක් ලෙසයි. එහෙත් තවත් සමහරෙකුට ඔහු කොලොම්බා වන්නේ කොලොම්බියාවේ සිදුවූ ජන්ම විපර්යාසයකින් ඇති වූවෙකු ලෙසයි.කෙසේ වෙතත් ජීවිතයේ මාහට හමුවූ ගුරුන් අතරින් වඩාත්ම නිද්‍රාශීලී ගුරුවරයා ලෙස මොහු හඳුන්වන්න පුලුවන්.මෙය වඩාත් සාක්ශාත් වන්නේ ඔහුගේ හැසිරීමේ ආකාරයටම ඔහුට ඉගැන්වීමට සිදුවන විෂයයන් නිසාවෙන්.නමුදු ඔහුගේ ඉගැන්වීම ආයතනයේ සිටින එකම එක ගුරුවරියකට පමණයි දෙවනි වෙන්නේ.ඔහු ගැන යම් හැඳින්වීමක් කලහොත් දැනටද ඉදිරියේ සිටිමින් මෙලෝ රහක් නැති දේවල් මුමුණමින් සිටින අතර, තමන් පිලිබඳ අතිශය පොර ටෝක් දෙන්නෙකි.

මාතෘකාවට අනුව මා මේ කියනා දෙය වැරදිය.එහෙත් මා අතිශය නිද්‍රාශීලීව සිටින නිසාවෙන් මාගේ මේ මොන්ගල් ගද්‍යකරණය ඉවසන ලෙස ඉල්ලමි.මට ඇත්තටම රතුඉර දම් වෙන තෙක් මල පැන තිබුනද, එයට ප්‍රධාන හේතුව කොලොම්බා නොවන්නේය.එයට ප්‍රධාන හේතුව අපෙ හෝල් එකේ හතර වටින් එල්ලී සිටින මේ කරුම වායුසමීකරන යන්ත්‍රයි.හෙයා ඩ්‍රයර් එකකින් මෙන් "හෝස් හෝස්" ගාමින් මාගේ මුහුනටම,එසේත් නැත්නම් කුඩා මොලයටම ඉලක්ක කර මෙය වදින්නට හේතු මම කල්පනා කර බැලුවෙමි.මා මුලින්ම සිතුවේ සිය පුත්‍රයාගේ සුව පහසුව තකා අප්පිලා ඇත්තෝ පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියාය.මන්දයත් මෙයට ඇතුළු වූ දා පටන් මෙලෝ සමීකරනයක් නැති පංකාවක් ඔහේ කැරකෙන ශාලාවක ආතල් එකේ සන්තෝසෙන් සිටි අපව,ටික දිනකින් නව ගොඩනැගිල්ලක් සාදා එහි ලැග්ගවීම සම්බන්ධවය.සමහර විටෙක මෙයින් අත්මිදෙන්නට නොහැකිව මවිසින් වායුහුඃමීකරනය යට ස්ථානයක වාඩිවී බැලූ අතර, එය එතරම් නරක නැතිමුත් මගේ කරුමෙට සමහර වෙලාවට වතුර බිංදු හිසට සහ පොතට වැටීම හේතු කොටගෙන එයද අසාර්ථක විය.මෙහි බිංදු යනු සෝමේ මාමි ගේ බිංදු නොවන බැවින් "කවුද යකෝ බිංදු?" කියා නොවිමසන මෙන් ඉල්ලමි.

මට ගුරුවරයෙකුට අපහාස කිරීමට කිසිම හිතක් නොමැත.මෙම කොටස එකතු කලේ මම මෙය පලකරන අවස්ථාවේදීය.මන්දයත් මා ලෙක්චරයක සිටිනා විට මාගේ අපහාස සිත ඉතාමත් දියුණු මට්ටමක සිටින ලෙසක් මට හැඟේ.තවද මෙය කියවීමෙන් පසු මාහට බැන, තමන් හොඳ දරුවන් වීමට බලා සිටිනා පිරිසක්ද ඇති හෙයින් මා පවසන්නේ, මේ කිසිවකුත් මා හොඳ සිහියෙන් නොසිටි අවස්ථාවකදී ලියන ලද ඒවා බවය.නැවතත් කතාවට. . .

උක්ත පුද්ගලයා මේ දැන් පිටුපස අසුන් අසලට පැමිණ නැවත ඉදිරියට ගියේය.මටනං මොහු පේන්නෙම මඩොල්දූවේ ධර්මසිංහ මහතා මෙනි.උපාලි ගිනිවැල්ලේට අනුව මොහුත් ගුඩු පොල් ගෙඩියකි.මම මොහු ගැන සිතුවෙමි.මට සිතාගත හැකිය.මොහුගේ ගෙවල් පැත්තේ මදුරුවන් මිය යන ක්‍රම දෙකකි.එකක් මොහුගේ ලේ බී නිදිමත වැඩිවී, බිත්ති වල හැප්පීමෙනි.අනෙක් ආකාරය නම් ලේ බිවු සැනින් ඇඳ උඩම නින්ද ගොස්, ඇඟට යටවීමෙනි.මට එක්වරම ඔහුගේ පසුගිය උපන්දින සාදය සිහිවිය.එක්පසක දනහිස ගාවට ගවුම් ඇඳ එය ඉන ගාවට පලාගෙන සිටින යුවතියන් පිරිසකි.ඒ ඔහුගේ මී මිණිබිරියන් වියහැක.මොහොතකින් සාදය ඇති ශාලාව වෙත මිනිසුන් අටදෙනෙකු විසින් වසන ලද යම් දෙයක් ගෙනෙන ලදී.මා මුලින් සිතුවේ උපන්දින ත්‍යාගය වශයෙන් නුදුරේදී ප්‍රයෝජනයට ගැනීමට ගෙන ආ මිණී පෙට්ටියක් විය හැකි බවයි.නැත එය උපන්දින කේක් ගෙඩියකි.මීමිණිබිරියන් වන තෙක් පරම්පරාවක් පැමිණ සිටියද මේ සා විශාල කේක් ගෙඩියක් කෑ නොහැක.ආසන්න වශයෙන් පර්චසයක් පමණය.කාරණය වැටහුනේ මදකිනි.අවුරුදු ගනණට ඉටිපන්දම් ගැසීමට හැකි වනසේ කේක් ගෙඩිය සාදා තිබිණි.මා දැන් මහළු වියේ කියා ගීතය ගැයීමෙන් පසු ගිනි නිවන හමුදාව පැමිණියේ ඉටිපන්දම් නිවීමටය.මටත් මේ වෙලාවට එන්නේ මහා කරුම අදහස්ය.වයිට් බෝඩ් මාකර් එකක් හොයාගෙන පොර එලියට ගියේය.එහා පැත්තේ සිටිනා කැනහිලා මාගේ දකුණු බාහුවට මහ හයියෙන් ගසා අහක බලාගත්තේය.ඌ මා උගන්නා අතරතුර එක එක දේවල් ලියනවාට අමුම මළය.ඌටද කුණුහරුපයක් කියා ඊලඟ ඡේදය ලියමි.

හදිස්සියේ බඩගින්නක් ආවේය.වෙලාව බැලුනි.දෙකයි කාළය.අවසන් වතාවට බත් චුට්ටක් බඩට දාගත්තේ දොලහයි හතලිස් පහටය.පැය එකහමාරකින් මෙලෝ දෙයක් බඩට නැත.මට බඩගිනිය.අම්මාගේ "පවුල් අලුවා" මතක් විය.පවුල් අලුවා යන නම තබන ලද්දේ අප්පිලා ඇත්තෝය.අපේ අම්මා හදන අලුවා අතිශය රසය.බොරු නොවේය.අම්මපා ය (මෙච්චර දිවුරලාත් විශ්වාස නොකරන උන්ට කුද ගහගන්නා ලෙස කියමි.).රස උනාට ලොකුය.පවුලකට එකක් කෑ හැකි බැවින් අප්පොච්චියා එයට පවුල් අලුවා කියයි.මා වතුර චුට්ටක් ඉල්ලගෙන මුවේ ලාගතිමි.අපේ එවුන් කසිකබල් පුටු උඩ ආපිෆෝම් සුවය ලබති.මේ සියල්ල වන් ඇන්ඩ් ඔන්ලි කොලොම්බා නිසාය.ශාලාවේ ජනේලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පෙනුනි.එය දුර්වර්ණ වී ගොසිනි.මා එහිදී ඩිග්‍රිය ගැනීමට පෙර ආණ්ඩුවට කෝල් එකක් දමා එය සුද්ධ කරන ලෙස කිව යුතුය.හැබෑවටම එයට බොහෝකල් ඇත.මට නිකමට මගේ රිපීට් ෆෝම් එක මතක් විය.එය ඇත්තේ රහසිගත ස්ථානයකය.ඒ අම්මිලා ඇත්තන්ගෙනුයි, අප්පිලා ඇත්තන්ගෙනුයි වහන් කරන්නටය.නිකමට හෝ බලා පිළිකුල් භාවනාව කිරීමට ගෙදර ගිය වහාම එය සෙවිය යුතුය.ඊටත් පෙර මොනවාහරි බඩට දමා ගත යුතුය.පාණ්ඩුව සෑදීම නිසා මාගේ බඩ ඉදිරියට නෙරා ඇත.

මහ මුචලින්දට මාගේ ඇඳුම් ගැන දුක හිතී ඩෙනිමක් ගැනීමට රුපියල් දෙදාහක්ම පුදකලේය.ගෙදර ගොහින් මොනවාහරි කන විට මා මිය යා සිටින්නට පුලුවන.එහෙයින් බම්බලපිටියෙන් මොනවාහරි බඩට දමාගැනීමට රුපියල් දෙසීයක් බැහැර කලේය.ඩෙනිමකට රුපියල් එක්දාස් පන්සීයකට වඩා කිසිසේත් නොසෑහේ.ඒ නිසා තවත් තුන්සීයක් ඉතිරිය.යනගමන් සරසවියට ගොඩවැදුනොත් ඒ තුන්සීයද මහා ධානපතියෙකුට පුදකල හැක.මගේ අප්පොච්චියාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනය.ඒ වැඩි වැඩියෙන් ලැබෙන සියල්ල මට ලැබෙන්න ඕනය.ඉදිරියෙන්ම ඉන්න උන්ටික බොරුවට ඔලුව වනමින් සිටී.උන්ටද නිදිමත වැඩිවී විය හැක.මැද පේලි වල උන්ගේ නලළ බිම ගෑවෙන අතර මගේ මෙහා පැත්තේ එකා ස්කයිප් එකේ ගෑනිත් එක්ක මල් කඩයි.උගේ ගෑනි රටය.අනිත් පැත්තේ එකා කරන්නේ තනි ප්‍රෝඩාවය.ඊටත් එහා පැත්තේ එකා පෙරවගෙන බුදිය.මට තවත් ලියන්නට නොහැකි අතර, මාත් ඔහේ සැතපෙමි.

අනේමන්දා. . .මම නිදිමතේ ලියපුවා පසුව කියවද්දී මටම මොන්ගල් සෙයක් හැඟේ.ඔබටත් ඔලුව කැරකෙන්න ගත්තානම් ගැත්තාට සමාවන්න.

Monday, April 19, 2010

ග්‍රහ පාලනය


මා පුංචි පහේදී
මහා හපනෙකු විය
ඒ ග්‍රහ බලපෑම
හොඳ නිසාවෙනි

දහය එකොලහේදී
තවත් බ්‍රයිට් වීමට පටන් ගති
ඒද දෙයියන්ට
පිංසිද්ධ වෙන්නය

අහේතුක ලෙස
ප්‍රතිඵල අල විය
ගණිත සිහල ඉංගිරිස් සාහිත්‍යය
හා ඉංග්‍රීසි පමණක්
මුලකුර අතගෑවේය
එකල ග්‍රහයන් කිපීය

ජ්‍යෙෂ්ඨ කල
ග්‍රහයන් කිපෙන බව මා
හොඳාකාරවම දැනසිටි!
එනමුදු,
ජෝති ට අනුව
මා නිසැක සමතෙකි

උ/පෙ ට කෙළ විය
මම බුදු විය
ජෝති ගොළු විය
මව දුක් විය
පියා කිපීය

මට ගැහැණියක හමු විය
එහෙමත් නැත්තං
කෑල්ලක් සෙට් විය
අප දෙදෙන ගුණ අපටය.
කට්ටිය වටවී ග්‍රහ ගුණ සෙවූහ.

පුතාට වතුරෙන් අපලය
මා පුරුදු ලෙසම නොනා සිටිමි.

වාහන වලින් අපලය
ගෙදර සිටිමි.

රාහු නිසා
බල්ලන්ගෙන් අපලය
මිතුරන් ඉවත් කරමි.

පවුල් කන්නේ ග්‍රහයන්ය;
අප රමණයේ යෙදීමට පමණක්
කතිකා වුනෙමු.

සටහන දිගය.
එයින්ද
දෙයියෙකුට කෙළවීමට පෙර
මා නවතිමි.

මෙහි "ජෝති" යනු, ජ්‍යෝතිෂයවේදියාය.